දිස්ත්‍රික් සීමා මායිම් නිර්ණය කඩිනම් කරනවා – ඇමැති වජිර අබේවර්ධන

(කොළඹ, ලංකාපුවත්) –දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සීමා මායිම් තීරණය කිරීමේ කාර්යය මේ දිනවල සිදුකරමින් තිබෙන බවත් වසර පහකින් සිදුකළ යුතු මේ කාර්යය කිරීමට සිදුව ඇත්තේ වසර 11ට පසුව බවත් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (13) හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රෙජ්ජිපුර ග්‍රාම නිලධාරී වසම සඳහා ඉදිකරන ලද නිල සෙවණ කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි. එහි දී අදහස් දැක්වූ අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ ද කීවේය.

”සෑම වර්ෂ පහකට වරක් රටේ පරිපාලන මායිම් තීරණය කළ යුතුයි. නමුත් 2007න් පසු මෙය සිදුකර තිබුණේ නැහැ. මා මේ සදහා කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටිනවා. දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන් හි සීමා මායිම් තීරණය කරන්න අවශ්‍ය වන්නේ රටේ සංවර්ධන සැළසුම් අනුව. දැන් ඇතැම් ග්‍රාම නිලධාරී වසම් ඒවා අයිති ප්‍රාදේශීය ලේක්ම කාර්යාලයෙන් වෙනස් කරලා යාබද වෙනත් කොට්ඨාසයකට එකතු කළ යුතු අවස්ථා ද තිබෙනවා. ගාල්ල නගරය පුළුල් කළ යුතුයි. නගර සීමාව පුළුල්වන විට ඒ්කට සමගාමීව ප්‍රාදේශීය සීමා මායිම් වෙනස් විය යුතුයි. මෙය ගාල්ලට විතරක් නොවෙයි මුළු ලංකාවේ ම සිදුවිය යුතු දෙයක්. මේ සඳහා ජනතාවටත් අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව තිබෙනවා. ජනතාවගේ යෝජනාවන් ද සළකා බලා මේ සීමා මායිම් තීරණය කරන්න අපි කටයුතු කරනවා.”

හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රෙජ්ජිපුර ග්‍රාම නිලධාරී වසමේ නිල සෙවණ කාර්යාලය විවෘත කිරීමට අමතරව ඊයේ දිනයේ දී ම ස්වදේශ කටයුතු අමාත්‍යවරයා තවත් නිල සෙවණ කාර්යාල හතක් විවෘත කරන ලදී.

එක් නිල සෙවණ කාර්යාලයක් සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය වැයකරන මුදල රුපියල් ලක්ෂ 20කි. ඒ් අනුව හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අද රුපියල් එක්කෝටි හැට ලක්ෂයක වියදමින් සාදන ලද නිල සෙවණ කාර්යාල අටක් විවෘත කිරීම සිදු කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *