හිටපු ජනපතිව CIDයට කැඳවයි

(කොළඹ, ලංකාපුවත්) – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියට අදාළවය.

කීත් නොයාර් මහතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙසට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට කිහිප වරක්ම දැනුම් දී තිබුණි. එහෙත් ඔහු නොපැමිණීම හේතුවෙන් සී අයි ඩී ය කොළඹ විජේරාම පාරේ පිහිටි ඔහුගේ නිවසට ගොස් ප්‍රකාශය ලබා ගැනීමට තීරණය කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව අනිද්දා(16) පෙරවරු 10ට මෙම ප්‍රකාශය ලබා ගැනීම සදහා හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසට පැමිණෙන බව ඔහුට දැනුම් දී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.

පැහැරගෙන ගොස් පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙස අවස්ථා කිහිපයකදී කීත් නොයාර් මහතාට දැනුම් දී තිබුණද ඔහු නොපැමිණීම නිසා පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී බී.එස්. තිසේරා සහ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා යන නිළධාරීන් දෙදෙනා ඕස්ට්‍රේලියාවේ කැන්බරා වෙත ගොස් කීත් නොයාර් මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනිමට පසුගියදා කටයුතු කර තිබුණි.

2008 මැයි 22 දින රාත‍්‍රි කීත් නොයාර් මහතා පැහැගෙන ගොස් පහර දී වදහිංසා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණසේකර මහතා ඇතුළු හමුදා සාමාජිකයින් 08 දෙනෙක් සැකකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *