කෘෂි ඇමැති TEJC අඹ ප්‍රභේදය නිර්මාණය කළ තෝමස් එල්ලාවල හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) –පලතුරු ලොවේ පෙරළියක් සිදු කළ TEJC අඹ ප්‍රභේදය නිර්මාණය කළ තෝමස් එල්ලාවල මහතා ජාතියට කළ සේවාව වෙනුවෙන් උපහාර පිදීමට සුදානම් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ අඹ ලොවේ මහා පෙරළියක් සිදු කළ TEJC අඹ ප්‍රභේදය නිර්මාණය කළ තෝමස් එල්ලාවල මහතා හමුවීමට ඊයේ (14) පස්වරුවේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා එල්ලාවල මහතාගේ ජයවර්ධනපුර පිහිටි නිවසට ගියේය.

ලංකාවේ වියළි කලාපීය දේශගුණයට ඔරොත්තු දෙන පරිදි හා විදේශ වෙළෙඳ පොලේ ඉල්ලුමට සරිලන පරිදිත්, කාල භේදයකින් තොරව සෑම කල්හිම ඵල දරණ TEJC අඹ ප්‍රභේදය මේ වනවිට අප රටට අන්තර්ජාතික මහත් කීර්තියක් ලබා දී තිබේ.

මෙම අඹ ප්‍රභේදයේ නිර්මාතෘ වන්නේ තොමස් එල්ලාවල මහතායි. එතුමා සහ පිලිපීන ජාතික ජුආන් කාලෝස් මහතා එක්ව මෙම අඹ ප්‍රභේදය නිර්මාණය කර තිබේ. දැනට 88 වියේ පසුවන ඒ මහතා හමුවීමට ගිය කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් එතුමාට පෞද්ගලිකවම නිදුක් නිරෝගි සුව ප්‍රාර්ථනා කිරීමට උපදෙස් දුන් බව කීය.

එමෙන්ම රටට මහත් කීර්තියක් අත් කර දෙමින් රටේ ජාතික ආදායමට විශාල මුදලක් උපයා දෙන අපනයනය ඉළක්ක කර ගත් අඹ ප්‍රභේදයක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් එතුමාට සමස්ත ජාතියේම උපහාරය රජයක් වශයෙන් පුද දීමට සුදානම් බව ද අමාත්‍යවරයා කීය.

මෙම අවස්ථාවට එල්ලාවල මහතාගේ බිරිඳ වන නාලිනි එල්ලාවල මහත්මිය හා පුතු වන සුරේශ් එල්ලාවල මහතාද සහභාගි වුහ.

එහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා කියා සිටියේ නව නිපැයුම් හඳුන්වා දෙමින් කෘෂිකාර්මික ක්ෂේත්‍රය බැබලීමට කටයුතු කළ තෝමස් එල්ලාවල මහතා වැනි පුද්ගලයින් සියයක් මේ රටේ ඉපදුනා නම් මුළු රටම මේ වනවිට සංවර්ධනය කළ හැකිව තිබු බවයි.

එමෙන්ම එතුමාට රජය වශයෙන් නිදුක් නිරෝගි සුවය ප්‍රාර්ථනා කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *