ඩෙංගු මර්දනයට දෙදින වැඩසටහනක්

(කොළඹ, ලංකාපුවත්) – පවතින වර්ෂා තත්ත්වයත් සමග ඉදිරියේදී ඩෙංගු වසංගත තත්ත්වයක් ඇතිවීම වැළැක්වීමේ අරමුණින් ඩෙංගු මර්දනය පිළිබඳ දෙ දින වැඩසටහනක් අද(16) සහ හෙට (17) දිනයන්හි දී ක්‍රියාත්මක කිරීමට ජාතික ඩෙංගු මර්දන ඒකකය සහ ඩෙංගු මර්දනය පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකාය කටයුතු සලසා ඇත.

ඒ අනුව මෙම වැඩසටහන කොළඹ, ගම්පහ, කළුතර, යාපනය හා මන්නාරම යන දිස්ත්‍රික්ක 05 ආවරණය වන පරිදි හඳුනාගත් වැඩි අවධානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 45ක, කණ්ඩායම් 764ක සහභාගීත්වයෙන් සිදු කෙරේ.

2017 වසරේ පළමු මාස 07 හා සැසදීමේදී 2018 වසරේ මේ දක්වා ඩෙංගු වාර්තාවිම 70%ට වඩා අඩුවීමක් පෙන්නුම් කරයි.

තවද නිවාස, පාසල්, වැඩබිම්, ආයතන, කර්මාන්ත ශාලා, ආගමික ස්ථාන, පොදු ස්ථාන වැනි ඕනෑම පරිශ්‍රයක ඩෙංගු මදුරුවන් බෝවීමේ අවධානමක් ඇති හෙයින්, අවම වශයෙන් සතියකට විනාඩි 30ක් මේ පිළිබඳ ව විපරම් කොට මදුරුවන් බෝවිය හැකි ස්ථාන ඉවත් කර ගන්නා ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකය මහජනතාව වෙත අවධාරණය කරයි.

පාසල් නිවාඩු සමය අවසන්වී නැවත පාසල් ආරම්භ වීමට ප්‍රථම, සියලුම පාසල් පරිශ්‍රතුල තුළ මදුරුවන් බෝවන ස්ථාන ඇත්දැයි සොයා බලා, ඒවා ඉවත් කිරීමට හෝ මදුරුවන් බෝනොවන ආකාරයෙන් පවත්වාගෙන යෑමට කටයුතු කරන ලෙස දන්වා සිටී.

ඩෙංගු උණ යැයි සැක කරන ඕනෑම අයෙකුට නොනවත්වා පවතින වමනය, උදරයේ ඇතිවන අධික වේදනාව, සිට ගැනීමේදී ඇතිවන ක්ලාන්තය සමග කරකැවිල්ල ස්වභාවය, පැය 4-6ක කාලයක් තුල මුත්‍රා පිට නොවීම හෝ පිටවන මුත්‍රා ප්‍රමාණය අඩුවීම සහ උණ බැස ගියද රෝගී තත්ත්වය සුව අතට පත් නොවීම ඩෙංගු කම්පන තත්වයේ රෝග ලක්ෂණ වන බැවින්, වහාම රෝහලක් වෙත ගොස් නිසි ප්‍රතිකාර ලබා ගන්නා මෙන් ජාතික ඩෙංගු මර්දන ඒකකය උපදෙස් දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *