දුම්රිය විදුලි සංඥා නොතකන රියදුරන්ට රුපියල් 25,000 ක දඬයක්

(කොළඹ, ලංකාපුවත්) –දුම්රිය හරස් මාර්ග විදුලි සංඥා නොතකමින් කටයුතු කරන රියදුරන්ට රුපියල් 25,000 ක මුදල් දඬයක් නියම කිරීමට නීති විධි විධාන මේ වන විටත් සකස් කර ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ(19) හික්කඩුවේ දී පැවසීය.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම කරුණු මාධ්‍යයට හෙළිකලේ දුම්රිය හරස් මාර්ග විදුලි සංඥා පද්ධති 10 ක් දුම්රිය සේවාව සඳහා විවෘත කිරීමෙන් අනතුරුවය.

මෙම ව්‍යාපෘතිය යටතේ දුම්රිය මාර්ග විදුලි සංඥා පද්ධති 200 ක් ස්ථාපනය කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇත. මේ ව්‍යාපෘතිය සඳහා වැයවන මුළු වටිනාකම ඇ.ඩො.මිලියන 6.4 ක් වන අතර, තනි දුම්රිය මාර්ග සඳහා විදුලි සීනු පද්ධති 175 ක් සහ ද්විත්ව මාර්ග සඳහා විදුලි සීනු පද්ධති 25 ක් ස්ථාපිත කිරීම ආරම්භ කර ඇත. මොරටුව විශ්ව විද්‍යාලයට අනුබද්ධ පෞද්ගලික සමාගමක් වන යුනි කන්සල්ටන්සි සර්විස් (Uni- Consultancy Services) ආයතනය විසින් දුම්රිය දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි.

මෙම විදුලි සංඥා පද්ධති 200 ව්‍යාපෘතියට අමතරව හංගේරියානු රජයේ මූල්‍ය ප්‍රතිපාදන මත තවත් විදුලි සංඥා පද්ධති 200 ක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගත් බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතිය තුළ හරස් මාර්ග 1337 ක් පවතින අතර, ඉන් හරස් මාර්ග 526 ක් සඳහා නිසි ආරක්ෂාව සපයා ඇති අතර, තවමත් අනාරක්ෂිත හෙවත් බම්බු ගේට්ටු මගින් ආරක්ෂාව සපයනු ලබන හරස් මාර්ග සංඛ්‍යාව 626 කි. මෙම ව්‍යාපෘතිය නිමවීමත් සමගම එම අනාරක්ෂිත හරස් මාර්ග ගේට්ටු ප්‍රමාණය අවම කිරීමට හැකිවන බව අමාත්‍යවරයා පැවසීය.

මෙහිදී තවදුරටත් කරුණු දැක්වු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා :

ශ්‍රී ලංකාවේ දුම්රිය හරස් මාර්ග වලින් වසරකට අනතුරු 75 ක් පමන සිදුවෙනවා. මේ මුහුදුබඩ මාර්ගයේ පමනක් 2016 වසරේ සිට 2018 මේ මස වන විට අනතුරු 54 ක් සිදුවෙලා

තියෙනවා. මෙය ඉතාමත්ම ඛේදනීය තත්ත්වයක් බවත් තවදුරටත් රජයක් ලෙස මෙවැනි ජීවිත හානි හා දේපළ විනාශවීමට ඉඩ නොතැබිය යුතු බැවින්, මෙම නීති ක්‍රියාමාර්ග ගත් බව අමාත්‍යවරයා මාධ්‍යයට පැවසීය. ඒ වගේම ප්‍රධාන දුම්රිය හරස් මාර්ග හා බහුල වශයෙන් රථවාහන ගමන්ගන්නා දුම්රිය හරස් මාර්ග ඇති ස්ථාන වලට CCTV කැමරා සවිකිරීමටත්, නිරන්තරයෙන් මෙම කැමරා පද්ධති වල රූපරාමු නිරීක්ෂණය කිරීමටත් කටයුතු සැළසුම් කරනවා. ඒ තුළින් අපට හැකිවේවි මාර්ග නීති නොපිළිපදින අය පිළිබඳව අවධානය යොමු කරන්නත්, ඔවුන් පිලිබඳ නීතියෙන් කටයුතු කරන්නත්. මෙම හරස් මාර්ග විදුලි සංඥා පද්ධතීන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සකස් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව හා ප්‍රවාහන අමාත්‍යාංශය අවශ්‍ය විධි විධාන සළසා තියෙනවා.

මෙහි තවත් පියවරක් වශයෙන් මොරටුව විශ්ව විද්‍යාලය හා එක්ව ශ්‍රී ලාංකික තාක්ෂණය හා දැනුම එකතු කර ගනිමින් මේ සඳහා අවශ්‍ය උපකරණ රාශියක් ලංකාවෙන්ම නිශ්පාදනය කර ගනිමින් ඉතිරි සියලුම දුම්රිය හරස් මාර්ග සඳහා සංඥා පද්ධති යොදාගැනීමට බලාපොරොත්තු වෙනවා. මේ තුළින් දේශීය කර්මාන්තයටත් දේශීය තාක්ෂණයටත් තැනක් ලබාදෙමින් මෙම මාර්ග පද්ධතිය සඳහා ආරක්ෂණ විධි විධාන සැළැස්වීමට අප කටයුතු කරනවා. මේ තුළින් අපට පිටරටට ඇදී යන විශාල මුදලක්ද ඉතිරිකර ගන්න පුළුවන්. යැයිද වැඩිදුරටත් පැවසීය.

මෙම සංඥා පද්ධති විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ, අමාත්‍යාංශ ලේකම් ජී.එස්.විතානගේ, දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එම්.අබ්වික්‍රම මහතා ඇතුළු නිළධාරීන් රැසක්ද සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *