නව අපනයන කරුවන් 2000 සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීමක්

(කොළඹ, ලංකාපුවත්) –නව අපනයන කරුවන් 2000 සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන පිළිබදව වයඹ පළාතේ ව්‍යවසායකයන් දැනුවත් කිරීම සඳහා එක් දින සම්මන්ත්‍රණයක්‍ පසුගිය සිකුරාදා(17) කුරුණෑගල බ්ලුස්කයි හෝටලයේ දී පවත්වන ලදි.

එදින වැඩසටහන ව්‍යවසායකයන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක් ,අපනයන කර්මාන්ත සදහා අවශ්‍ය තාක්ෂණික දැනුම විදහා දක්වන ප්‍ර‍දර්ශනයක් සහ වයඹ පලාතේ ප්‍ර‍ධාන ව්‍යාපාරිකයන් සහභාගීවන වට මේස සාකච්ඡාවක් යන අංගවලින් සමන්විත වූ අතර සම්මන්ත්‍රණයේදී ගෝලීය සැපයුම් දාමයට එකතු වෙමින් අභියෝග ජයගත් වයඹ පළාතේ ප්‍රධාන පෙලේ අපනයන කරුවන් ඔවුන්ගේ අත්දැකීම් ඉදිරිපත් කරමින් ව්‍යවසායකයන් අපනයන ක්ෂේත්‍රයට ආකර්ෂණය කරගැනීම සඳහා දිරිගැන්වීය.

අපනයන කර්මාන්ත සදහා අවශ්‍ය තාක්ෂණික දැනුම විදහා දක්වන ප්‍ර‍දර්ශනය සදහා කර්මාන්ත සංවර්ධන මණ්ඩලය (IDB), කාර්මික තාක්ෂණ ආයතනය (ITI), ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය (NAQDA), ශ්‍රී ලංකා‍ ප්‍රමිති ආයතනය (SLSI), ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය (NERD), පශ්චාත් අස්වනු තාක්ෂණ ආයතනය (PHTI), අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව (DEA), පොල් සංවර්ධන අධිකාරිය (CDA), නැනෝතාක්ෂණය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය (SLINTEC), බියුරෝ වෙරිටාස් කන්සියුමර්ස්‍ප්‍රඩක්ට්ස් සර්විසස් ලංකා (පුද්) සමාගම, ටියුලිප් ටෙක්නොලොජීස් (පුද්) සමාගම සහභාගී විය.

2017-2020 කාලපරිඡ්චේදය තුළදී අපනයන කරුවන් 2000 ස්ථාපිත කිරීමේ රජයේ ජාතික වැඩසටහන 2017 මාර්තු මස 23 වන දින උතුරු පළාතේ ව්‍යවසායකයන් වෙනුවෙන් යාපනයේදී දියත් කළ අතර සම්මන්ත්‍රණ මාලාවේ දෙවන අදියර මධ්‍යම පළාතේ ව්‍යවසායකයන් වෙනුවෙන් මහනුවර දී සහ තෙවන අදියර දකුණු පළාතේ ව්‍යවසායකයන් වෙනුවෙන් මාතර දී පැවැත්විය.

වයඹ පළාතේ හදුනාගත් අපනයන ශක්‍යතාවයක් ඇති ක්ෂේත්‍රලෙස අගය වැඩිකළ කෘෂිකාර්මික නිෂ්පාදන, කුළු බඩු නිෂ්පාදන, තෑගි භාණ්ඩ හා විසිතුරු භාණ්ඩ, සුවසේවා සංචාරක කර්මාන්තය ආශ්‍රිත සේවා, සකස්කළ ආහාර පාන, ආයුර්වේද නිෂ්පාදන, පොල් හා ආශ්‍රිත නිෂ්පාදන, ධිවර නිෂ්පාදන, තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන සේවා ආශ්‍රිතව සංවර්ධනය සඳහා ඇති අවස්ථා හදුන්වාදීම හා ඔවුන් ඒ සඳහා යොමු කිරීමේ අරමුණින් මෙම සම්මන්ත්‍රණය පවත්වන ලදි.

මෙම ජාතික වැඩසටහන සදහා සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය, මලික් සමරවික්‍රම මහතා, අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන අමාත්‍ය එස්. බී. නාවින්න මහතා, ජාත්‍යන්තර වෙළඳ කටයුතු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ
මහතා, වයඹ පළාත් ආණ්ඩුකාර කේ. සී .යෝගේෂ්වරන් මහතා, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්ය අමාත්‍ය, අශෝක් අබේසිංහ මහතා, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජේ. සී. අලවතුල මහතා, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිනිය සහ ප්‍රධාන විධායිකා, ඉන්දිරා මල්වත්ත මහත්මිය සහ අනෙකුත් රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල නිලධාරීන් සහභාගීවිය.

මෙම වැඩසටහනට සමගාමීව, 2018 වසරේ ජාතික අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසුකම් ලත් අපනයනකරුවන් 10 දෙනකු සඳහා සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යයන්තර වෙළඳ අමාත්‍යාංයේ මගපෙන්වීමෙන් අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන වෙළඳපොළ ප්‍රවේශ වැඩසටහන යටතේ මූල්‍යාධාර ලබා දෙන ලදි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fifteen − four =