ඩර්ඩන්ස් රෝහලින් එරාවුර් ප්‍රදේශයේ පැවැත්වූ සෞඛ්‍ය කඳවුර ජනතා ප්‍රසාදයට

(කොළඹ, ලංකාපුවත්) – ඩර්ඩන්ස් හෘද මධ්‍යස්ථානය සංකීර්ණ හෘද සැත්කම් ඉතා සාර්ථකව සිදු කිරීම සම්බන්ධව දෙස්-විදෙස් කීර්තිමත් නාමයකට හිමිකම් කියයි. සෑම වසරකම එම මධ්‍යස්ථානය ක්‍රමික හෘද සායන සහ සැත්කම් මෙන්ම හෘද සැත්කම් සඳහා පූර්වාදර්ශ සපයන ආකාරයේ සැත්කම් ද විශාල ප්‍රමාණයක් සිදු කරයි.

සමාජ-ආර්ථික වශයෙන් අඩු පහසුකම් සහිත ප්‍රජාවට සෞඛ්‍ය සේවා සඳහා ප්‍රවේශය පුළුල් කිරීමේ අරමුණ පෙරදැරිව ඩර්ඩන්ස් රෝහල මඩකළපුව දිස්ත්‍රික්කයේ කිලෝ මීටර 15ක් වයඹ දෙසට පිහිටි එරාවුර් ප්‍රදේශයේ දින දෙකක සෞඛ්‍ය කඳවුරක් සංවිධානය කළේය.

එම සෞඛ්‍ය කඳවුර එරාවුර් අල් මුනීරා බාලිකා මහා විද්‍යාලයේදී ජුලි මස 14 සහ 15 යන දෙදින පුරා ක්‍රියාත්මක විය. අල් මුනීරා බාලිකා මහා විද්‍යාලයේ විදුහල්පති මොහොමඩ් මහත් මහතා මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන පිළිබඳ අදහස් පළ කරමින් සඳහන් කළේ සියලු දෙනාම ආරම්භයේ පටන් ඉතා කැපවීමෙන් මෙම කඳවුරේ සේවය කළ බවය.

පළමු දිනයේදී රෝගීන් 250 දෙනෙක් පමණ මෙම කඳවුර සඳහා සහභාගී වූ අතර ඩර්ඩන්ස් රෝහලේ වෛද්‍යවරුන් සහ අනෙකුත් කාර්යමණ්ඩල සාමාජිකයන් විසින් සෑම රෝගියෙකුගේ ම රෝග පරික්ෂාව නොමිලයේ ම සිදු කරන ලදි. රුධිර පීඩනය, රුධිර පරික්ෂා සහ BMI ගණනය මෙලෙස සිදු කෙරුණු පරික්ෂා අතර වෙයි. දෙවන දිනය රෝගීන්ට වෛද්‍ය උපදෙස් ලබාදීම සඳහා වෙන් කර තිබිණි. ප්‍රකට හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන් වන වෛද්‍ය ඩබ්. එස්. ශාන්තරාජ් සහ වෛද්‍ය ශානික කරුණාරත්න යන මහත්වරු සිය විශේෂඥ පරීක්ෂාවන් සහ නිර්දේශ ඉදිරිපත් කළහ.

එරාවුර් ප්‍රදේශයේ මෙවැනි මට්ටමේ ප්‍රජා සත්කාරක සේවාවක් දියත් කෙරුණු පළමු අවස්ථාව මෙය වූ අතර ඒ සඳහා ප්‍රදේශයේ ජනතාවගෙන් ඉතා ඉහළ ප්‍රතිචාරයක් හිමිවිය.

“මේ ප්‍රදේශවල විශාල පිරිසකට කොළඹ රෝහල් වෙත යාම ඉතා අසීරුයි. ඒ නිසා මෙම සෞඛ්‍ය කඳවුර ජනතාවට මිල කළ නොහැකි අවස්ථාවක්. මඩකළපුව දිස්ත්‍රික්කයේ අඩු පහසුකම් සහිත විශාල පිරිසක් සිටිනවා. ඔවුන් අද දින තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරික්ෂා කර ගැනීමට මෙහි පැමිණ සිටිනවා. මෙම සමාජ සත්කාරය දියත් කිරීම සම්බන්ධව ඩර්ඩන්ස් රෝහලට අපගේ ස්තූතිය පිරිනමනවා” යනුවෙන් එරාවුර් නගර සභාවේ සභාපති නසීර් අහමඩ් මහතා සඳහන් කළේය. 2002 වසරේදී ඩර්ඩන්ස් රෝහලේ හෘද සැත්කමක් සිදුකර ගත් ආර්. ඒ. දේවරාජ් මහතා ප්‍රකාශ කළේ ඩර්ඩන්ස් කාර්යමණ්ඩල සාමාජිකයන් සියලු දෙනාම ඉතා සුහදශීලිව තමන්ගේ සේවය ඉතා හොඳින් ඉටු කළ බවය. රෝග පරික්ෂාව සඳහා සෑම මසක ම ඩර්ඩන්ස් රෝහලට යන වහබ්ඩීන් මහතා “මේ ප්‍රදේශයේ සිටින අසරණ හෘද රෝගීන්ට මෙවැනි සේවාවක් නොමිලයේ ම ලබාදීම බෙහෙවින් අගය කරනවා” යයි අදහස් පළ කළේය.

හෘද සෞඛ්‍ය කඳවුර සඳහා සහභාගී වූවන්ගෙන් විශාල පිරිසක් වයස අවුරුදු 40ට වැඩි පිරිස වූ අතර ඔවුන්ගෙන් සැලකිය යුතු පිරිසකට ඉහළ කොලස්ටරෝල් සහ රුධිරයේ සීනි මට්ටම් ඇතුළු ඉතා අවදානම් රෝග ලක්ෂණ ඇති බව හඳුනා ගත හැකි විය.

පරිපූර්ණ හෘද පරික්ෂා සිදු කිරීමේ විශේෂඥ ආයතනයක් වන ඩර්ඩන්ස් හෘද මධ්‍යස්ථානය මෙරට ප්‍රකට බාහිර සහ නේවාසික හෘද රෝග විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් මගින් එම පරීක්ෂාවන් සහ සැත්කම් සිද කරයි. අවදානම් සාධක කලින් හඳුනාගෙන ඒවාට නිසි ප්‍රතිකාර කිරීම මගින් නිධන්ගත හෘද රෝග ඇතිවීම වළක්වා ගත හැකිය. සරළ සහ සංකීර්ණ මෙන්ම දැඩි අවදානම් හෘද සැත්කම් ද හානිකර ප්‍රතිඵලවලින් තොරව සාර්ථකව සිදු කිරීමේ හැකියාව එම මධ්‍යස්ථානය සතුය. හෘද රෝග සම්බන්ධව වේලාවක් වෙන්කරවා ගැනීම සඳහා 011 2 140 205/6 අංකයෙන් ඩර්ඩ්න්ස් හෘද මධ්‍යස්ථානය අමතන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *