ශ්‍රී ලංකා කබඩි ක්‍රීඩිකාවෝ ඉන්දුනීසියාව සහ ජපානය පරදවති

(කොළඹ, ලංකාපුවත්) – සිය මංගල ආසියානු තරගාවලියට එක්වූ කබඩි ක්‍රීඩිකාවෝ පෙරේදා තායිලන්තය හමුවේ මූලික වටයේ තරගය ලකුණු 41-15කින් පරාජයට පත්වුවද යළිත් සටන්කාමී මාවතට පිවිසෙමින් ඊයේ (20) පැවැති තරගවලින් සත්කාරක ඉන්දුනීසියාව සහ ජපානය පරාජය කිරීමට සමත් වූහ.

ඊයේ සහභාගිවූ දෙවැනි තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගෙන් දැඩි ආක්‍රමණශිලී ක්‍රීඩා විශාලයක් දැක ගත හැකි විය.
තරගයේ පළමු භාගය නිමාවනවිට ශ්‍රී ලංකා පිල සිටියේ ජපානයට වඩා ලකුණු 2ක් (10-8) පසුපසිනි. එහෙත් ජයග්‍රහණය අරමුණු කරගනිමින් දෙවැනි භාගයට පිවිසි ශ්‍රී ලංකා පිල ලකුණු 14ක් රැස්කර ගන්නා විට ජපානයට ලබාගත හැකිවූයේ ලකුණු 7ක් පමණි.

සත්කාරකයන් සමග ඊයේ පෙරවරුවේ පැවැති තරගයෙන්ද ශ්‍රී ලංකා පිලට ලකුණු 34-17ක විශිෂ්ට ජයක් අත්විය. තරගයේ පළමු භාගය නිමාවනවිට ලකුණු 17-6ක් ලෙස පෙරමුණ ගැනීමට සමත්වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ දෙවැනි භාගයේදී තවත් ලකුණු 17ක් එක්කර ගැනීමට සමත් වූහ. ඉන්දුනීසියානු ක්‍රීඩිකාවන්ට ලබාගත හැකිවූයේ ලකුණු 11ක් පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය නායිකා මදුෂානි චතුරිකා ආබාධයකට ලක්ව රෝහල් ගතව සිටීමෙන් මේ තරගවලට එක් නොවූ අතර නිමාෂි කොකිලාගේ නායකත්වයේ ශ්‍රී ලංකා පිල තරගයට එක්විය.

තරගයෙන් අනතුරුව නායිකාව කියා සිටියේ පළමු වරට මේ තරගාවලියට එක්ව මේ තරග දෙක ජය ගැනීම ගැන විශාල සතුටක් ඇති බවත් කණ්ඩායමේ එකමුතු බව නිසා මේ ජය වාර්තා කළ හැකිවූ බවත් පැවැසු නිමාෂි එක් දිනයකදී තරග 2ක් ජය ගැනීමෙන් ලබාගත් ශක්තියෙන් ඉදිරයේ දී ලක්මව පදක්කමකින් සැරසීමට හැකිවනු ඇතැයි විශ්වාසයෙන් යුතුව පැවැසීය.

ශ්‍රී ලංකා පිල අද (21) ප්‍රබල ඉන්දියාව සමගින් තීරණාත්මක තරගයට එක්වෙයි. මේ තරගය ජයගතහොත් පහසුවෙන්ම අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිවෙයි.

මේ අතර පිරිමි කබඩි පිලද ඊයේ තායිලන්තය සමග පැවැති තරගයෙන් 46-29ක පහසු ජයක් අත්කර ගත්තේය. තරගයේ පළමු භාගය ලකුණු 26-10ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා පිල සමත්වූ අතර දෙවැනි වටය ලකුණු 20-19ක් ලෙස නිමාවිය. ඔවුන් අද බංග්ලාදේශය සමගින් තරග වැදීමට නියමිතය
.
ශ්‍රී ලංකා බීච් වොලිබෝල් පිලද ඊයේ ජයග්‍රණයක් අත්කර ගැනීමට සමත්වූයේ කොරියාව තරග වට 2-0කින් පරාජය කරමිනි. පළමු භාගයේදී 21කට 15ක් ලෙස ජයගත් ශ්‍රී ලංකා පිල දෙවැනි භාගය ජය ගත්තේ ලකුණු 21-10ක් ලෙසිනි. අසංක මැදගෙදර සහ මලින්ත යාපා මේ කණ්ඩායම නියෝජනය කළහ.

ශ්‍රී ලංකා පිරිමි වොලිබෝල් පිල සහභාගිවූ ගෘහස්ත තරගාවලියේ පළමු තරගයෙන් තායිලන්තය හමුවේ වට 3-1කින් පරාජයට පත්විය.

තරගය ආරම්භයේ දී විශිෂ්ට ක්‍රීඩා විශාලයක් පෙන්නුම් කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පළමු වටය නිමාකළේ ලකුණු 25-13ක් ලෙසිනි. එහෙත් දෙවැනි වටයේ සිට ආක්‍රමශිලී ක්‍රීඩාවක නිරතවූ තායිලන්තය දෙවැනි වට 25-21ක් ලෙස ජයගත් අතර තෙවැනි වටය 25-23ක් ලෙස ජය ගත්තේය. ඉතා තියුණු මුහුණුවරක් ගත් සිවුවැනි වටයෙන් ලකුණු 27-25ක ජයක් තායිලන්තය සතුවිය. කෙසේ වෙතත් මේ තරගයේ ප්‍රධාන විනිසුරු ලබාදුන් තීන්දු පිළිබඳව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සර්බියානු ජාතික ටෙජාන් ඩුලී සිවික් අප්‍රසාදය පළ කරනු අයුරුද දක්නට ලැබිණි. ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගීවන මූලික වටයේ දෙවැනි තරගය 23 වැනිදා වියට්නාමය සමගින් පැවැත්වෙයි.

මේ අතර ශ්‍රී ලංකාව ඊයේ සහභාගිවූ ටෙනිස්, බර ඉසිලීම සහ ටයිකොන්ඩෝ තරගවලින්ද පරාජයට පත්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *