(කොළඹ, ලංකාපුවත්) –වැලිකඩ බන්ධනාගාරයේ කලහකාරී ලෙස හැසිරුණු රැඳවියන් පනස් දෙදෙනෙකු, වෙනත් බන්ධනාගාරවලට මාරු කර තිබේ.
ඊයේ(20) සවස ඇතිවූ සිදුවීමෙන් අනතුරුව, මෙම පියවර ගත් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මත්ද්‍රව්‍ය චෝදනා ලැබූ රැඳවියෙකු, මත්ද්‍රව්‍ය ජාවාරමක නිරතව සිටි හෙයින්, ඇයව වෙනත් බන්ධනාගාරයකට පාලනාධිකාරිය විසින් මාරු කර යවා තිබේ.
ඊට විරෝධය පළ කරමින්, ඊයේ සවස රැඳවියන් සිය දෙනෙකු පමණ කලහකාරී ලෙස හැසිරුණෙි. තත්වය මැඩපැවැත්වීම සඳහා බන්ධනාගාර නිලධාරීන් උත්සාහ ගන්නා අවස්ථාවේදී නිලධාරීන්ට ප්‍රහාර එල්ල කිරීමට රැඳවියන් ක්‍රියා කළාය.
ඉන් බන්ධනාගාර නිලධාරීන් 8 දෙනෙකු සුළු තුවාල ලැබූ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා පැවසීය.
සිද්ධියෙන් රැඳවියන් තිදෙනෙකු ද සුළු තුවාල ලබා තිබුණි. තුවාල ලැබූවන් බන්ධනාගාර රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුනු අතර, ඔවුන් සියල්ලම මේ වනවිට පිටව ගොස් අවසන්ය.
මෙහිදී රැඳවියන් බන්ධනාගාර දේපලවලට ද හානි සිදුකර ඇත.
සිද්ධියට වගකිව යුතු පුද්ගලයන්, බන්ධනාගාර විනිශ්චය මණ්ඩලයට යොමු කොට, නීතිමය පියවර ගන්නා බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මේ අතර බන්ධනාගාර රැඳවියන්ගේ ඥාතීන් සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබේ.