(කොළඹ, ලංකාපුවත්) –පළාත් සභා මැතිවරණය පිළිබඳ සීමා නිර්ණ කොමිෂන් සභා වාර්තාව මේ මස 24වෙනි සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව මහ නගර සහ බස්නාහිර සංවර්ධන ඇමති පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය.
එදිනට ඉදිරිපත් කරන වාර්තාව සම්මත වුවහොත් ඒ මත පදනම් වී මැතිවරණය පැවැත්වීමේ හැකියාව මැතිවරණ කොමසාරිස්වරයාට ලැබෙන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.
එළඹෙන ඡන්දය පමණක් පැරණි අනුපාත ක්‍රමයට පත්වා පසුව පවත්වන මැතිවරණ අලුත් ක්‍රමයට පවත්වන විදිහේ ක්‍රමවේදයක් සකස් කර ගත යුතු බවද අමාත්‍යවරයා කීය.
ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් සභා ඡන්දය සම්බන්ධයෙන් සීමා නිර්ණ වාර්තාව පිළිබඳ කරුණු පැහැදිලි කිරීම ඊයේ (21) බත්තරමුල්ල, පන්නිපිටිය පාරේ පිහිටි ජාතික හෙළ උරුම කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.
තාක්ෂණික, නීතිමය යනාදී කරුණු පදනම් කර ගනිමින් පළාත් සභා ඡන්දය කල් දැමීම කාලෝචිත නොවන බව ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක සහ පළාත් සභා මන්ත්‍රී නිශාන්ත වර්ණසිංහ මහතා පැවසීය.
පසුගිය කාලයේ සම්මුති ආණ්ඩුවට එල්ල වූ චෝදනාව වූයේ මෙම ඡන්ද කල් දැමීම බව පැවසූ ඒ මහතා කියා සිටියේ මේ ඡන්ද පැවැත්වීමේ වගකීම පැවරී ඇත්තේ ද පාර්ලිමේන්තුවට බවයි.
දැනටමත් පළාත් සභා තුනක් විසුරුවා හැර ඇති බවත් තවත් පළාත් සභා තුනක් විසුරුවා හැරීමට ඇති බවත් ඉදිරි වසරේ දී තවත් පළාත් සභා තුනක් විසුරුවා හැරීමට ඇති බවත් නිශාන්ත වර්ණසිංහ මහතා කීය.
ජාතික හෙළ උරුමයේ උප සභාපතිනි සහ පළාත් සභා මන්ත්‍රිනී නිරෝෂා අතුකෝරළ මහත්මිය ද මේ අවස්ථාවට එක් වී සිටියාය.