අන්තර් පළාත් 20- 20 ලීග් ක්‍රිකට් තරඟාවලිය – දඹුල්ලට ලකුණු 18ක ජයක්

(කොළඹ, ලංකාපුවත්) –අන්තර් පළාත් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ලෙස මහනුවර කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 18 ක ජයක් අත්කර ගැනීමට දඹුල්ල කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 203 ක ඉලක්කයක් හඹාගිය මහනුවර කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 183 ක් පමණි.

එහිදී ඉසුරු උදාන සහ ෂෙහාන් මධුෂංක කඩුලු 2 බැගින් දවාගනිමින් මහනුවර කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කිරීමට පුරෝගාමී වූහ. දඹුල්ල කණ්ඩායමේ නායක ඉසුරු උදාන මෙම තරගයේදී පන්දු යවන්නන් 9 දෙනකුගේ සේවය ලබාගත් අතර ඔවුන් අතරින් ඕවර 4 ම යවා නිම කළ එකම පන්දු යවන්නා බවට පත් වූයේ ධනුෂ්ක ගුණතිලකය. සිය ඕවර 4 ලකුණු 21 කට සීමා කළ ධනුෂ්ක, මහනුවර කණ්ඩායමේ ආරම්භක පිතිකරු සඳුන් වීරක්කොඩි (3) වේලාසනින්ම පිටියෙන් ඉවත් කිරීමටද සමත් විය

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 202 ක් ලබාගත් අතර දඹුල්ල ඉනිමේ කොඳු නාරටිය බවට පත් වූ අශාන් ප්‍රියන්ජන්, වේගවත් පිතිහරඹකය නිරත වෙමින් පන්දු 52 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 9 ක් සමගින් ලකුණු 108 ක් රැස්කළේය.

ප්‍රියංජන් ලබාගත් ශතකය මෙම තරගාවලියේදී වාර්තා වූ දෙවැනි ශතකය ලෙස සටහන් වූ අතර එය සම්පූර්ණ කිරීම සඳහා ඔහුට වැය වූයේ පන්දු 48 ක් පමණි. සචිත් පතිරණ යැවූ අවසන් ඕවරයේ පස්වැනි පන්දුවට හරවා පහරක් ගැසීමට යෑමෙදී පිත්තේ දාරයේ වැදී එක තැන ඉහළ නැගි පන්දුව, යළිත් සචිත්ගේ දෑටම පතිතවීම හේතුවෙන් ප්‍රියංජන්ට දඹුල්ල ඉනිම නිමාවීමට පන්දුවක් ඉතිරිව තිබියදී පිටියෙන් ඉවත්ව යෑමට සිදුවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *