දුම්රිය දෙකක් එකම පීල්ලේ පරීක්ෂණ අරඹයි

(කොළඹ, ලංකාපුවත්) – අනුරාධපුර ශ්‍රාවස්තිපුර දී එකම පීල්ලේ මුහුණට මුහුණ දුම්රිය දෙකක් ධාවනය වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය මඟින් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

දුම්රිය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්) ඒ. ඩී. ජී. සෙනෙවිරත්න මහතගේ ප්‍රධානත්වයෙන් ඒ සඳහා කමිටුවක් ද පත් කර තිබේ.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි මේ පරීක්ෂණය ආරම්භ කර තිබෙන අතර, මේ සිද්ධියට බලපෑ හේතු සම්බන්ධයෙන් සති දෙකක් ඇතුළත වාර්තාවක් ලබා දෙන ලෙස ද ඇමැතිවරයා දුම්රිය සාමාන්‍යාධිකාරී එස්. එම්. අබේවික්‍රම මහතාට උපදෙස් දී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් යම් අයකු වැරැදිකරුවකු වුවහොත් විනයානුකූලව දඬුවම් ලබා දෙන ලෙස ද ඇමැතිවරයා සාමාන්‍යාධිකාරීවරයාට උපදෙස් දී ඇත.

ඒ අනුව මේ වන විටත් එම සිද්ධියට මුහුණ දුන් දුම්රිය දෙකෙහි රියැදුරන් හා නියාමකවරු මෙන්ම ශ්‍රාවස්තිපුර දුම්රිය ස්ථානාධිපතිවරයා, සංඥාකරු හා අනුරාධපුර දුම්රිය සංඥා පාලකවරයාගෙන් ප්‍රකාශ ලබා ගැනීමේ කටයුතු ද ආරම්භ කර තිබේ.

මැදවච්චියේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ යාල් දේවී දුම්රිය සහ කොළඹ කොටුවේ සිට මන්නාරම දක්වා ධාවනය වෙමින් තිබූ ශීඝ්‍රගාමී දුම්රිය දෙකම පෙරේදා (22) දෙකට පමණ ශ්‍රාවස්තිපුර දුම්රිය ස්ථානයට ආසන්නයේ දී මෙසේ එකම පීල්ලේ මුහුණට මුහුණ හමුවනසේ ගමන් ගෙන තිබේ.

දුම්රිය රියැදුරන් විසින් දැඩි පරිශ්‍රමයක් දරා තිරිංග තද කර දුම්රිය අනතුර වළක්වා ගෙන තිබේ.

මේ දුම්රිය මැදිරි කට්ටල දෙකම චීනයෙන් ගෙන්වන ලද ඒවා වන අතර, දැනට භාවිත කරන චීනයෙන් ගෙන්වන ලද මේ මැදිරි කට්ටල රැසක්ම තිරිංග දෝෂ හේතුවෙන් දුම්රිය සංඥාවලට අනුව ක්‍රියාත්මක නොවීමේ අපහසුතා පවතින බව දුම්රිය තාක්ෂණ ශිල්පීන් විසින් වාර්තා කිහිපයක් මඟින් පෙන්වා දී ඇතැයි වාර්තා වේ.

මින් පෙර ද පොල්ගහවෙල හා පනාලිය අතර දී දුම්රිය දෙකක් එකිනෙක ගැටී අනතුරක් සිදු විණි.

මෙවැනි අවාසනාවන්ත සිදුවීම් නිතර නිතර සිදුවීමෙන් දුම්රිය පිළිබඳ ජනතාව අතර පවතින විශ්වාසය නැතිව යන බව ඇමැතිවරයා ප්‍රකාශ කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *