ගම්පෙරළිය, එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ආදී වැඩසටහන් හරහා ගම සංවර්ධනය වෙනවා – අගමැති

(කොළඹ, ලංකාපුවත්) –ගම්පෙරළිය, එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ආදී වැඩසටහන් හරහා ගම සංවර්ධනය වන බවත් උපාධිධාරී පත්වීම් ලබාදෙමින් ඉදිරියේ දී තවත් රැකියා අවස්ථා උදා කරන බවත් මේ සියලූ වැඩ කටයුතු සිදුකරමින් සීඝ්‍රයෙන් ඉදිරියට යමින් සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

බද්දේගම, මහජන ක්‍රීඩාංගනයේ පැවැති ගාල්ල දිස්ත්‍රික් ඉඩම් හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ කතාව.

ඔබ සියලූ දෙනා වෙනුවෙන් මම ගයන්ත කරුණාතිලක ඇමැතිතුමාට සුභ ප්‍රාර්ථනා කරනවා. තමාගේ උපන් දිනය වෙනුවෙන් එතුමා තෑගි 2000 ක් පමණ ලබා දී තිබෙනවා. ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන නුවරඑළියෙන් ආරම්භ කර අද බද්දේගමට පැමිණෙන විට ඔප්පු 10,000 ලබාදීමට අපට හැකි වී තිබෙනවා. සියලූ දෙනාටම තමන්ගේ භූමියේ අයිතිය බලාත්මක කරන ඔප්පුව ලබාදී තිබෙනවා. සියලූ දෙනාගේම බලාපොරොත්තුව භූමියක අයිතිය ලබාගැනීමයි. අපේ රජයේ ප්‍රතිපත්තියක් ලෙස ජනතාවට ඉඩම් අයිතිය ලබාදීමට ක්‍රියා කරන්නේ එම නිසයි.

අපි කිසිම විටෙක විදේශිකයන්ට ඉඩම් විකුණුවේ නැහැ. අප සෑම විටෙකම ඉඩම් ලබා දුන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාවටයි. පසුගිය ආණ්ඩුව යටතේ විදේශිකයින්ට ඉඩම් විකුණා දැමූ ආකාරය මට හොදින් මතකයි. කොළඹ වරාය නගරය ඉදිකිරීම වෙනුවෙන් මුහුද ගොඩකිරීමෙන්, එම ඉඩම් අයිතිය චීන සමාගමට සින්නක්කරව ලබාදීමත් ඔවුන් සිදු කළා. ඉඩමක් නිර්මාණය වෙන්නටත් පෙර මුහුදේ සින්නක්කර අයිතිය විදේශිකයින්ට විකිණීමට ඔවුන් කටයුතු කළා.

අපේ ආණ්ඩුව පිහිටුවීමෙන් පසු අඩුපාඩු නිවැරදි කරමින් චීන සමාගමට ලබාදුන් සින්නක්කර අයිතිය අහෝසි කිරීමට හැකි වුණා. පසුව චීන ආණ්ඩුවත් සමග සාකච්ඡා කරමින් එය 99 අවුරුදු බද්ද යටතේ ලබාදීමට එකඟ වුණා. සාමාන්‍යයෙන් ඉඩමක් බදු දෙන විට රජය 99 අවුරුද්දකට හෝ ඊට අඩුවෙන් බදු දෙනවා හැර විකුණා දමන්නේ නැහැ. අනෙක් ඉඩම යුද හමුදා මූලස්ථානයේ ඉඩමයි. එම ඉඩමත් සින්නක්කරව විකුණා දැමීමට ඔවුන් කටයුතු කළා.

යුද හමුදා මූලස්ථානයට කරන්නේ කුමක්දැයි අප එදා පාර්ලිමේන්තුවේ දී විමසූ අවස්ථාවේ දී ඔවුන් පැවසුවේ එය අකුරේගොඩට ගෙන බවයි. නව ගොඩනැගිල්ලක් එම ස්ථානයේ ඉදිකරන බව ඔවුන් පැවසුවා. ඊට අවශ්‍ය මුදල් ලබාගන්නේ කෙසේදැයි විමසා සිටි විට කියා සිටියේ එම ඉඩම විකුණා රුපියල් මිලියන 25,000 ක් ලැබෙන බවයි.

අපි නැවත බලයට පත් වන විට එම සමාගම හෝටලය ඉදිකිරීම් ආරම්භ කර තිබූ බැවින් එම ගිවිසුම අහෝසි කිරීමට හැකියාවක් තිබුණේ නැහැ. එම නිසා හෝටලයේ ඉදිකිරීම් කටයුතු ඉදිරියට කර ගෙන යාමට අපි අවස්ථාව ලබා දුන්නා.

නමුත් ඉන් සිදුවූයේ යුද හමුදාවට මූලස්ථානයක් නොමැති වීමයි. අකුරේගොඩ මූලස්ථානයේ ඉදිකිරීම් තවමත් අවසන් නැහැ. එය ඉදිකිරීම සඳහා ඇස්තමේන්තු ගත කර ඇති මුදල රුපියල් මිලියන 70,000 ක් පමණ වෙනවා. එම මුදලින් නිවාස කීයක් ඉදිකිරීමට හැකියාව තිබෙනවාද? දෙවන ලෝක යුද්ධ කාලයේ දී පවා තිබූ ස්ථානයෙන් යුද හමුදා මූලස්ථානය ඉවත් කළේ ඇයි? ඔවුන් විදේශිකයින්ට අවශ්‍ය ආකාරයට ඉඩම් විකුණා දැමුවේ ඒ ආකාරයටයි. රටේ දියුණුවට, සංවර්ධනයට හෝටලයක් අවශ්‍ය නම් එම ඉඩම බද්දට දීමට තිබුණා. එහි කිසිම ගැටලූවක් නැහැ. නමුත් ඉඩම් විකුණා දැමීම සිදු නොකළ යුතුයි.

ජනතාවට ඉඩම් අයිතිය ලබාදීම අපේ රජයේ මූලික අරමුණ වුණා. ඉඩම් ඔප්පු 10,000 ක් ලබාදීමෙන් අප එය අවසන් කරන්නේ නැහැ. දිවයින පුරාම ජනතාවට ඉඩම් ඔප්පු ලබාදෙන අතර ඉදිරියේ දී ඒවා සඳහා සින්නක්කර අයිතිය ලබාදීමටත් කටයුතු කරනවා.

සජිත් ප්‍රේමදාස ඇමැතිතුමා ජනතාවට ජීවත් වීම සඳහා නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘති 1,000 ක් පමණ ආරම්භ කර තිබෙනවා. වතුකරයේ ජනතාවට නිවාස 1,000 ක් ඉදිකර දීමේ වැඩපිළිවෙළ දිගම්බරම් ඇමැතිතුමා ආරම්භ කළා. මීට පෙර වතුකරයේ ජනතාවට බිම් අඟලක හිමිකමක් නොතිබුණත් දැන් ඔවුන් වෙනුවෙන් ගම්මාන බිහි කරමින් තිබෙනවා. උතුරේ යුද්ධයෙන් විනාශ වූ නිවාස වෙනුවෙන් නම නිවාස 40,000 ක් ඉදිකරදීමට අප කටයුතු කරනවා.

මීට අමතරව කොළඹ අඩු ආදායම්ලාභීන්ට මහල් නිවාස ඉදිකිරීම සඳහා චීන බැංකුවකින් රුපියල් මිලියන 32,000 ක් ලබාගන්නවා. රටේ නිවාස ඉදිකිරීම සඳහා අප කටයුතු කරන්නේ ඒ ආකාරයටයි. මේ ගත වූ වසර 3 ක් තුළ අප සිදු කළ වැඩකටයුතු බව කිව යුතුයි. ඇතැමුන් අපගේ විමසන්නේ අප සිදු කළේ මොනවාද යන්නයි. නමුත් අප රට බාර ගන්නා විට රට කඩා වැටී තිබුණා. ණය ගෙවීමට පවා එම ආර්ථිකය ප්‍රමාණවත් වුණේ නැහැ. ආණ්ඩුව ඉතා ඉක්මනින් බංකොළොත් වනු ඇතැයි බොහෝ දෙනෙකුගේ අදහස වුණා. නමුත් අමාරුවෙන් හෝ ඉදිරියට යාමට අපට සිදු වුණා. ඒ සඳහා මුදල් සොයා ගැනීමට සිදු වුණා. එදා අපි උත්සාහය අත්හැරියා නම් රට බංකොළොත් වෙනවා.

එදා මුදල් ඇමැතිතුමා බදු මුදල් වැඩි කරන විට අපට දෝෂාරෝපණය කළා. නමුත් ණය ගෙවීමට නොහැකි වුණොත් රට විනාශ වෙන බව අප අවබෝධ කර ගෙන සිටියා. බැනුම් අසමින් ඉදිරියට ගියා. නියඟය, ගංවතුර වැනි ස්වභාවික විපත්වලට මුහුණ දුන්නා. අවසානයේ පළාත් පාලන ඡන්දයෙන් ද පරාජයට පත් වුණා. නමුත් අප නිසියාකාරව රට වෙනුවෙන් වැඩ කරනවා නම් ඉදිරි වසර දෙක තුළ ජනතාවට හොඳ ප්‍රතිඵල භුක්ති විදීමට හැකි බව මම ප්‍රකාශ කළා. දැන් ඔබට ප්‍රතිලාභ ලබාදීම අප ආරම්භ කර තිබෙනවා.

කොතරම් අපහසු වුණත් ජනතාව වෙනුවෙන් බය නැතුව තීරණ ගත යුතුයි. එම තීරණවලට ජනතාව අකමැති නම් අපට ගෙදර යාමට හැකියි. නමුත් රට ගැන සිතා කටයුතු කළ යුතුයි. 2005 සිට 2014 දක්වා කාලය තුළ පසුගිය ආණ්ඩුව කිලෝ මීටර 183 ක් මාර්ග ඉදි කළා. විශාල සංවර්ධනයක් බව සියලූ දෙනා පැවසුවා.

නමුත් අපි 2015 සිට 2017 දක්වා කිලෝ මීටර 185 ක් මාර්ග ඉදිකර තිබෙනවා. අප එම කටයුතු වෙනුවෙන් බෙර ගසන්නේවත්, විවෘත කිරීම් උත්සව පවත්වන්නේවත් නැහැ. ”ළඟම පාසල හොඳම පාසල” වැඩසටහන යටතේ ප්‍රාථමික පාසල් 3577 කට සහ ද්විතියික පාසල් 1000 කට ඉඩම් ලබා දී තිබෙනවා. සුරක්‍ෂා රක්‍ෂණ වැඩසටහන ආරම්භ කිරීමට අපට හැකි වුණා. විශ්ව විද්‍යාල සිසුන් සඳහා ලබාදුන් මහපොළ ආධාරය රුපියල් 2500 සිට රුපියල් 5000 දක්වා වැඩි කළා. ශිෂ්‍යාධාර ලබාදීම රුපියල් 2000 සිට 4000 දක්වා වැඩි කළා. හෘද රෝග සඳහා නොමිලයේ ස්ටෙන්ට් ලබාදීමටත්, පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර දීමනාව ජීවිතාන්තය දක්වා ලබාදීමටත්, අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීමටත්, සුව සැරිය ගිලන් රථ සේවාව පිහිටුවීමටත් අප කටයුතු කළා.

රැකියා ආදායම් මාර්ග ලක්‍ෂ 7 ක් ඇති කිරීමට අපට හැකි වුණා. රජයේ සහ ස්ථිර පුද්ගලික අංශයේ රැකියා ලක්‍ෂ 4 ක් සහ අනෙකුත් අංශවලින් රැකියා ලක්‍ෂ 3 ක් ලෙස එම රැකියා බිහි කර තිබෙනවා. කොළඹ මාර්ග තදබදය අඩු කිරීම සඳහා මහනගර සංවර්ධන සැලැස්ම ඇති කළා. මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර තිබෙනවා. දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ අවසන් අදියර පසුගිය ආණ්ඩුව යටතේ ආරම්භ කළත් ඊට අවශ්‍ය මුදල් ලබාදුන්නේ අපේ ආණ්ඩුවයි.

නුවර සිට හම්බන්තොට දක්වා ආර්ථික සංවර්ධනය ඇති කිරීමටත්, ගාල්ල ඇතුලූ ප්‍රදේශය දකුණු ආසියාවේ හොඳම සංචාරක කලාපය බවට පත් කිරීමටත් අප කටයුතු කරනවා. වැලිගම කර්මාන්ත කලාපයක් ඇති කරනවා. මේ ගත වූ වසර 3 තුළ අපි දුක් වින්දා. ජනතාවගෙන් බැණුම් ඇසුවා. පරාජයට මුහුණ දුන්නා. නමුත් රට වෙනුවෙන් නොබියව ඉදිරියට යාමට අපට හැකි වුණා. මේ සියල්ල සිදු කරන අතරතුර තොරතුරු දැන ගැනීමේ පනත ඉදිරිපත් කරමින් එය සම්මත කර ගැනීමට ගයන්ත කරුණාතිලක ඇමැතිතුමාට හැකියාව ලැබුණා. අද වන විට රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති වී තිබෙනවා. අද මාධ්‍ය විසින් මට බනිනවා. නමුත් ඒ කිසිම මාධ්‍යවේදියෙක් සුදු වෑන්වලින් ගෙන යාමට අප කටයුතු කරන්නේ නැහැ. කවුරුවත් ඝාතන හෝ වෙඩි තැබීම් සිදු කර නැහැ. නමුත් අපට තවමත් බනිනවා. එය අප ඇති කළ ප්‍රජාතන්ත්‍රවාදය බව පැවසිය හැකියි.

රූපවාහිනියෙන් හෝ පත්තරවලින් මගේ තීන්දු තීරණ අගය කරන්නේ නැහැ. නමුත් අප සෑම විටම රට වෙනුවෙන් හරි දේ කළ යුතුයි. ගම් පෙරළිය, එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ආදී වැඩසටහන් හරහා ගම සංවර්ධනය වනවා. උපාධිධාරී පත්වීම් ලබාදීමට අප කටයුතු කළා. ඉදිරියේ දී තවත් රැකියා ලබා දෙනවා. මේ සියලූ වැඩ කටයුතු සිදු කරමින් අප සීඝ්‍රයෙන් ඉදිරියට යමින් සිටිනවා.

ඉඩම් ඔප්පු ලබාදීමටත්, තොරතුරු දැන ගැනීමේ අයිතිය ලබාදීමටත් කටයුතු කිරීම සම්බන්ධයෙන් ගයන්ත කරුණාතිලක ඇමැතිතුමාට මම ස්තුතිවන්ත විය යුතුයි. එතුමා අප වෙනුවෙන් විශාල බරක් දරාගෙන සිටිනවා. ඒ වගේම වජිර අබේවර්ධන ඇමැතිතුමා ස්වදේශ කටයුතු ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම ශක්තිමත් කරමින් සිටිනවා. ඊට අවශ්‍ය පහසුකම්, ගොඩනැගිලි ආදිය ඉදිකරනවා. මේ සියලූ දෙනාටම ස්තුති කරමින් බද්දේගම සංවර්ධනයට අප සියලූ දෙනා කටයුතු කරන බව මම අවසාන වශයෙන් ප්‍රකාශ කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *