උතුරු නැගෙනහිර පළාතට විශේෂ කෘෂිකාර්මික සැලැස්මක්

(කොළඹ, ලංකාපුවත්) – උතුරු නැගෙනහිර පළාත් සදහා විශේෂ කෘෂිකාර්මික සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණයකර තිබේ.

උතුරු පළාතේ ක්‍රියාත්මක කළ යුතු කෘෂිකාර්මික සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳ වාර්තාවක් කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය අංගජන් රාමනාදන් මහතා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට පිළිගන්වන ලදි.

උතුරු පළාතේ දැනට වැව් දහසක පමණ සංඛ්‍යාවක් පැවතිය ද එම වැව් වසර 50 ක පමණ කාලයක සිට ප්‍රතිසංස්කරණය කර නොමැති බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ ලබන වසර තුළ උතුරු පළාතේ සියලුම වැව් ප්‍රතිසංස්කරණය කළයුතු බවයි.

මෙම ප්‍රදේශයේ භූගත ජලය බහුලව ඇති නිසා වගා ලිං පද්ධතියක් කඩිනමින් ඉදිකරන ලෙසද අමාත්‍යවරයා උපදෙස් දෙන ලදි.

මෙම විශේෂිත කෘෂිකාර්මික වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සදහා රුපියල් මිලියන තුන්දහසක මුදලක් වැයවන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *