වෘත්තීය සමිති ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්

(කොළඹ, ලංකාපුවත්) – අධ්‍යාපන ක්ෂේත්‍රෙය් සිදුවන සෑම ක්‍රියාවලියකටම පටු විවේචන ඉදිරිපත් කරමින් තම වෘත්තීය සමිතිය අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ජනප්‍රිය කරවීම වෙනුවෙන් ඇතැම් වෘත්තීය සමිති සාමාජිකයින් අසත්‍ය තොරතුරු හා පදනම් විරහිත කරුණු සමාජගත කරමින් සිටින බව අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනු ලැබේ.

එම නිවේදනය පහත පරිදි වේ

අධ්‍යාපන ක්ෂේත්‍රෙය් සිදුවන සෑම ක්‍රියාවලියකටම පටු විවේචන ඉදිරිපත් කරමින් තම වෘත්තීය සමිතිය අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ජනප්‍රිය කරවීම වෙනුවෙන් ඇතැම් වෘත්තීය සමිති සාමාජිකයින් අසත්‍ය තොරතුරු හා පදනම් විරහිත කරුණු සමාජගත කරමින් සිටී. යමක සත්‍ය තත්වය හරිහැටි අවබෝධ නොකොට අන්ධයා අලියා ගැන කියූ ආකාරයෙන් නිගමනවලට එළඹ අධ්‍යාපන ක්ෂේත්‍රය මුලාකර තම ජනප්‍රියත්වය වර්ධනය කරගැනීම මොවුන්ගේ පිළිවෙත වී තිබේ.

පෙළපොත් මුද්‍රණය පුද්ගලික අංශයට පැවරීමෙන් රජයට විශාල පාඩුවක් සිදුව ඇති බවට ලංකා ගුරු සංගමය ගෙනයන ප්‍රචාරය ද එවැනිම පදනම් විරහිත කරුණු හරිහැටි සොයා නොබලා ඉදිරිපත් කරන මාධ්‍ය සංදර්ශනයක් බව අවධාරණය කරමි.

පෙළපොත් මුද්‍රණය රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවට හෝ කිසිදු රජයේ ආයතනයකට තනිව කළ හැක්කක් නොවන අතර මිලියන 40 කට ආසන්න පෙළපොත් මුද්‍රණය මීට දශක කිහිපයකට පෙර සිටම සිදුකෙරෙන්නේ පෞද්ගලික අංශයේ සහය ලබාගෙන බව සිහිපත් කරමි.

2019 වසර සදහා පාසල් පෙළපොත් මුද්‍රණය කිරීමේදී අධ්‍යාපන අමාත්‍යවරයා විසින් රජයේ ආයතනයක් වන රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව වෙත පෙළපොත් මුද්‍රණයෙන් 25% ක් ලබාදෙන ලෙස ඉල්ලා තිබේ.

නමුත් 2017.06.13 දින කැබිනට් රැස්වීම් වාර්තා කෙටුම්පතට අනුව විවෘත ප්‍රසම්පාදන ක්‍රියාවලියක් යටතේ පෙළපොත් මුද්‍රණය කිරීමේ අවශ්‍යතාව රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයටම ලබාදිය යුතු බව තීරණය කර ඇති අතර 2018.01.01 දින සිට එය බලාත්මක කිරීමට ද තීරණය වී තිබේ.

මීට අමතරව පෙළපොත් මුද්‍රණයේ දී රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවට 25% ක් ලබාදෙන ලෙස ඉල්ලා අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ (cp18/0725/734/011) යෝජනාව බැහැර කරමින් අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ අත්සනින් නිකුත් කර ඇති අමාත්‍ය මණ්ඩල සංදේශයේ රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවට අදාල ව නිරීක්ෂණ වල මෙලෙස සඳහන් කර ඇත.

උපුටාගැනීම

අමාත්‍ය මණ්ඩල සංදේශ අංක 18/0725/734/011

2014 වර්ෂයේ විගණන වාර්තාවට අනුව, සංස්ථාවේ කළමනාකරණයේ සහ මෙහෙයුම් කටයුතු වල අකාර්යක්ෂමතාව අනාවරණය වී ඇත. තව ද පොත් අලෙවිය දුර්වල තත්ත්වයක පැවතීම හේතුවෙන් විශාල තොග පවත්වා ගැනීමට සිදුව ඇති අතර, ඒ සම්බන්ධ කටයුතු සදහා සංස්ථාවට බැංකු ණය ගැනීමට ද අවශ්‍ය වී ඇත. අභ්‍යාස පොත් නිෂ්පාදනය පමා වීම හේතුවෙන් සහ කලට වේලාවට අධ්‍යාපන අමාත්‍යාංශයට පොත් බෙදාහැරීමට අපොහොසත්වීම හේතුවෙන් ද එම සංස්ථාවට දඩ මුදල් ගෙවීමට සිදුව ඇත.

උපුටාගැනීම අවසන්.

එමෙන්ම මුද්‍රණාලයකට පෙළ පොත් මුද්‍රණය සදහා ලබාදීමේ දී අතීත කාර්ය සාධනය, මුද්‍රණ ධාරිතාව, මුල්‍යමය හැකියාව යන සාධක ද තාක්ෂණ කමිටු විසින් සලකා බලන බව අවධාරණය කරමි.

ඒ අනුව සාධාරණ ලෙස විවෘත ප්‍රසම්පාදන ක්‍රියාවලියේ දී අවම ලංසු ඉදිරිපත් කළ රාජ්‍ය හා පුද්ගලික යන දෙඅංශය වෙතම පෙළපොත් මුද්‍රණ කටයුතු ලබා දී තිබේ.

2019 වර්ෂය සදහා පෙළපොත් ප්‍රසම්පාදනය සදහා මිල ගණන් කැදවා ඇති අතර රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව ද ඒ සදහා මිල ගණන් ඉදිරිපත් කර තිබේ. එම විවෘත ප්‍රසම්පාදන ක්‍රියාවලියේ දී පෙළපොත් වර්ග 15 කින් පිටපත් 2,720,000 ක් සදහා රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව අවම මිල ගණන් ඉදිරිපත් කර තිබුණි. ඊට අමතරව ප්‍රසම්පාදන නියමයන්ට අනුකූලව සහ රජයේ ප්‍රසම්පාදන නීතිවලට අනුව 2019 ප්‍රසම්පාදන කමිටුවේ අනුමැතිය යටතේ විවෘත තරගයට ඉදිරිපත් වූ අනෙකුත් මුද්‍රණාලවලින් ලංසු ඇගයීම් ක්‍රියාවලියේ දී ඉවත් කරන ලද තවත් පොත් වර්ග 09 කින් පිටපත් 1,765,000 ක් රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව වෙත ලබා දී තිබේ. ඒ අනුව රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවට පෙළපොත් වර්ග 24 කින් පිටපත් 4,485,000 ක් මුද්‍රණය කිරීම සදහා 2018.07.10 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

ඒ අනුව පෙළපොත් මුද්‍රණයේදී රජයට කිසිදු පාඩුවක් සිදු නොවී ඇති අතර සත්‍ය කරුණු හරිහැටි නොදැන දරුවන්ට කලට වේලාවට පොත් ලබාදීමේ අවශ්‍යතාවය මෙන්ම අවම මිල ගණන් යටතේ හා සාධාරණ ක්‍රමවේදයක් අනුව ක්‍රියාත්මක වීම සදහා කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය අභියෝගයට ලක්කරමින් මෙම වෘත්තීය සමිතිය පදනම් විරහිත කරුණු සමාජගත කිරීම කණගාටුදායක තත්වයකි.

(මාධ්‍ය ඒකකය අධ්‍යාපන අමාත්‍යංශය )

Leave a Reply

Your email address will not be published. Required fields are marked *