මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ලෝක ප්‍රජාව පෙළ ගැසිය යුතුයි – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – ලෝක ප‍්‍රජාව සහ සියලු රාජ්‍යයන් නීත්‍යානුකූල නොවන මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව එකාවන්ව සහ සහයෝගයෙන් කටයුතු කළයුතු බව ජනාධිපතිතුමා පවසයි.

අද නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ලෝකයේ බොහෝ රටවල් මුහුණ දෙන ප‍්‍රධාන අභියෝගයක් බව සඳහන් කළ ජනාධිපතිතුමා ඊට විසදුම් සෙවීමට සියලුදෙනා එක්ව්ය යුතු බව ද සඳහන් කළේය.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ නේපාලයේ කත්මණ්ඩු නුවරදී ආරම්භ කෙරුණු බහුආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා බෙංගාල බොක්ක ප‍්‍රවේශය හෙවත් බිම්ස්ටෙක් (BIMSTEC) හතරවන රාජ්‍ය නායක සමුළුව ඊයේ (30) පස්වරුවේ අමතමිනි.

එමෙන්ම අද කාලගුණික සහ දේශගුණික විපර්යාසයන් කලාපයේ ආර්ථික සැලසුම් අභියෝගයට ලක් කරමින් සිටින බව ද පැවසූ ජනාධිපතිතුමා ඒ සමගම වර්ධනය වන දුගී භාවය හේතුවෙන් ආර්ථික ගැටලු රැසක් මතු කරවන අතර මෙම අභියෝගය සඳහා විසඳුම් සෙවීමට ද කලාපයේ රටවල් එක්ව කටයුතු කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නේය.

බෙංගාල බොක්ක ආශි‍්‍රත දකුණු ආසියානු සහ අග්නිදිග ආසියානු රටවල තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාවය ඇති කිරීමේ අරමුණින් කි‍්‍රයාත්මක බිම්ස්ටෙක් සමුළුවේ, හතරවන රාජ්‍ය නායක සමුළුව “බෙංගාල බොක්ක සාමකාමී සශී‍්‍රක සහ තිරසර කලාපයක්” බවට පත් කිරීම යන තේමාව යටතේ ඊයේ කත්මණ්ඩු නුවරදී නේපාල අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ විය.

බිම්ස්ටෙක් කලාපයට අයත් බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය, ශ‍්‍රී ලංකාව සහ තායිලන්තය යන දකුණු හා අග්නිදිග ආසියානු රටවල ජනාධිපතිවරු, අගමැතිවරු සහ නියෝජිතයින් ඊට එක්ව සිටිති.

මෙම සමුළුව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ බෙංගාල සමුද්‍ර සන්ධීය ආශි‍්‍රත රටවලින් සැදුම්ලත් බිම්ස්ටෙක් සංවිධානය ශ‍්‍රී ලංකාවට ඉතා වැදගත්කමක් දරන බවයි. බිම්ස්ටෙක් රටවල් අතර පවතින පොදු ඉතිහාසය සහ පොදු සංස්කෘතික උරුමය එම රටවල් අතර බහුපාර්ශ්වීය අවබෝධය හා අනෝ‍යාන්‍ය ගෞරවය පිළිබඳ මූලික පදනම වන අතර බිම්ස්ටෙක් අරමුණු කරා ළගා විය හැක්කේ සාමාජික රටවල් අතර පවතින අන්‍යෝන්‍ය විශ්වාසය සහ අවබෝධය සමග බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

බිමිස්ටේක් සමුළුවේ අරමුණක් වන නීල ආර්ථිකයක් සඳහා යන ගමනේදී සමාජය තුළ දූෂණය, වංචාව, අක‍්‍රමිකතාවය සහ රාජ්‍ය දේපළ අවභාවිතය යන සියල්ල පිටුදැකීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිතුමා පසුගිය වසර තුන හමාරක කාලය තුළ ශි‍්‍ර ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ මානව හිමිකම් ශක්තිමත් කරමින් දූෂණය සහ වංචාව පිටුදැකීම වෙනුවෙන් විශේෂ කාර්ය භාර්යයක් ඉටු කළ බව ද සඳහන් කළේය.

එහිදී පක්ෂ විපක්ෂ බේද නොතකා දූෂිතයින්ට විරුද්ධව පියවර ගැනීමට තමා කටයුතු කළ බව සඳහන් කළ ජනාධිපතිතුමා නීතියේ ආධිපත්‍ය ශක්තිමත් කර අධිකරණයේ ස්වාධිනත්වය ආරක්ෂා කිරීමට කටයුතු කළ බවත් බිමිස්ටෙක් සමුළුව තුළ බලාපොරොත්තුවන අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා මෙම සියලු ක්ෂේත‍්‍රයන් පිළිබඳ අවධානය යොමු කළයුතු බවත් සඳහන් කළේය.

එමෙන්ම බහුවිධ අරමුණු සහිත බිම්ස්ටෙක් සංවිධානය කිසිදු අංශයකට සීමා විය යුතු නැති බව සඳහන් කළ ජනාධිපතිතුමා බිම්ස්ටෙක් සංවිධානයේ වසර 20 කට වැඩි අත්දැකීම් උපයෝගි කර ගනිමින් සංස්කෘතික උරුමයන් සහ වටිනාකම් රැුකගනිමින් ඉදිරිය යා යුතු බව ද කියා සිටියේය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කිරීමට කැපවූ නායකයෙකු ලෙස ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ සහභාගිත්වය සමුළුව තුළ කැපී පෙනුණු අතර ජනාධිපතිතුමා විසින් කළ දේශනය ඊට සහභාගී වී සිටී රාජ්‍ය නායකයින්ගේ පැසසුමට ලක් වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *