ලංගමයට දිනකට රු. මිලියන 100ක ආදායමක්

(කොළඹ, ලංකාපුවත්) – ලංකා ගමනාගමන මණ්ඩලය මේ වන විට දිනකට රුපියල් මිලියන 100ක ආදායමක් උපයන බව වාර්තා වේ.

මෙම වාර්තාගත ආදායම ඉපැයීම සඳහා බස් රථ 6100ක් මෙන්ම රියදුරු, කොන්දොස්තර, ලිපිකරු, කාර්මික සහ විධායක ශ්‍රේණියේ නිලධාරීන් ඇතුළු 30463ක සේවක පිරිසකගේ සේවය ලබා ගෙන තිබේ. ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී මෙම කරුණු අනාවරණය වූ අතර ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා මෙම රැස්වීම පැවැත්විණි.

වෘත්තීය සමිති විවිධ අවස්ථාවල සිදු කළ වැඩ වර්ජනවල දී ප්‍රවාහන සේවාව අඩපණවීමට නොදී ජනතාවත් රටත් වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කළ ලංකා ගමනාගමන මණ්ඩලයේ සියලුම සේවකයන්ගේ වැටුප් සාධාරණ ලෙස වැඩි කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙහිදී ප්‍රකාශ කළේය. මෙය කිසිසේත් වෘත්තිය සමිතිවල තර්ජන හෝ බලපෑම් නිසා සිදු නොකරන බවත් ඇමැතිවරයා අවධාරණය කළේය.

මෙම වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් අදාළ ආයතන හා කැබිනට් මණ්ඩලය සමඟ මේ වන විට සාකච්ඡා කරන බවත් හෙතෙම පැවසීය.

ලංකා ගමනාගමන මණ්ඩලයේ අතිරික්ත සේවකයන් 4000ට ආසන්න පිරිසක් ස්වේච්ඡා වන්දි ක්‍රමයක් යටතේ විශ්‍රාම ගැන්වීමත්, ලංකා ගමනාගමන මණ්ඩලයට නොතිබූ බඳවා ගැනීමේ පටිපාටියක්, අවශ්‍ය කාර්යය මණ්ඩල වාර්තාවක් හා උසස්වීමේ ක්‍රමවේදයක් ද මේ වන විට සකසා ඇති බව පැවසූ ඇමැතිවරයා වසර 25කට පමණ පසුව ලංකා ගමනාගමන මණ්ඩලයේ නියම ගමන් මාර්ගයක් අනුව පරිපාලන කටයුතු සිදු කරන බවද පැවසීය.

වර්තමාන ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස ලංකා ගමනාගමන මණ්ඩලයට කිසිදු සේවකයකු දේශපාලන වශයෙන් බඳවා ගෙන නොමැති බව ද, පසුගිය කාල පරිච්ඡේදයවල විවධ දේශපාලන බලපෑම් මත බඳවා ගැනීම් සිදු කළ බැවින් ආදායම් අඩු වී, ආර්ථික පරිහානියකට පත්වු බව ද ඇමැතිවරයා පැවසීය.

මෙම වැටුප් වැඩිවීම පිළිබඳ මේ වන විට අදාළ ආයතන හා කැබිනට් මණ්ඩලය සමඟ සාකච්ඡා කර ඇති බවද මෙම වසර අවසානයේ දී කිසිදු කලක ලබා නොදුන් රුපියල් 10,000ක ප්‍රසාද දීමනාවක් ලබා දීමට කටයුතු කරන බවද , එබැවින් ලංගම ආරක්ෂා කර ගැනීම සභාපතිතුමා ඇතුළු සියලු සේවකයන්ගේ වගකීම බව ද කියා සිටියේය.

රට පුරා පිහිටි ප්‍රධාන ඩිපෝ 107ක් හා උප ඩිපෝ 13 ක් මඟින් මෙම මණ්ඩලය මගී ප්‍රවාහන සේවය ලබා දෙයි. වාර්තා අනුව මෙම ඩිපෝවලින් 90 %කට ආසන්න ප්‍රමාණයක් ලාභ ලබන ආයතන බවට පත්වී ඇති බවත්, පසුගිය 2017 වසරේ මෙහෙයුම් ලාභය (Operation Profit) රු.මි. 1618 වු අතර, 2018 වසරේ දී එය රු.මි.2000 ක් දක්වා වැඩි කිරීමට ශ්‍රී ලංගමය සැලසුම් කර ඇති බවත් ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා මෙහි දී පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *