පසුගිය වසර තුනේ 50%කින් අපරාධ අඩු වෙලා – අගමැති

(කොළඹ, ලංකාපුවත්) –කාලයක් තිස්සේ මේ රටේ පැවැති අපරාධ රැල්ල මැඩ පැවැත්වීමට වර්තමාන රජය බලයට පැමිණි පසු ගත් ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් ලෙස පසුගිය වසර තුනක කාලය තුළ රට තුළ සිදුවී ඇති අපරාධ ප්‍රමාණය පොලිස් වාර්තාවලට අනුව 50%කින් පමණ අඩු වී ඇති බවත් අපරාධ විසඳීමේ ප්‍රතිශතය 79% දක්වා ඉහළ ගොස් ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අපරාධ මැඩ පැවැත්වීමටත් එම අපරාධ විසඳීමටත් පොලිසිය මේ ආකාරයෙන් කැප වී ක්‍රියා කිරීමට ඔවුන් කළ කැපවීම අග්‍රාමාත්‍යවරයා විසින් දැඩි ඇගයීමට ද ලක් කළේය.

152 වැනි පොලිස් සැමරුම් උත්සවය අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(03) බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බළකා මුලස්ථානයේ දී පැවැත්වුණි. එහිදී අග්‍රාමාත්‍යවරයා එම උත්සවය අමතා කතා කරමින් මෙම තොරතුරු හෙළිදරව් කළේ වර්තමාන රජය බළයට පැමිණි පසු රට තුළ අපරාධ ඇතිවීම වැළැක්වීමටත් ඒවා විසඳීමටත් රජය විසින් පොලිස්පතිවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන්ට උපදෙස් ලබා දීමත් ඒවා නිසි ලෙස ක්‍රියාත්මක කිරීමත් තුළින් අපරාධ රැල්ල අඩුවීමේ ප්‍රගතිය ගැන කතා කරමින්ය.

මෙහිදී අගමැතිවරයා තවත් සුවිශේෂී ජයග්‍රහණයක් පිළිබඳ කියා සිටියේ මැතිවරණ ඉතිහාසයේ කිසිදු රජයකට කළ නොහැකි වූ පරිදි වර්තමාන රජය මගින් පසුගිය කාලය තුළ පැවැත්වූ මැතිවරණ ගණනාවක් කිසිදු ප්‍රචණ්ඩකාරි සිද්ධිවලින් සහ මැතිවරණ දූෂණ සහ වංචාවලින් තොරව පැවැත්වීමට හැකි වීම රජය ලැබූ ජයග්‍රහණයක් බව පොන්වමින්ය.

ඒ අතර මීට මාස කිහිපයකට පෙර දිගන ප්‍රදේශයේදී සිදුවූ සිද්ධිය ගැන කතා කරමින් කියා සිටියේ එම සිද්ධීන් හරහා පාඩමක් ඉගෙන ගෙන ඉදිරියේදී එවැනි සිද්ධීන් නොවීමට වග බලා ගෙන කටයුතු කළ යුතු බවයි.

වසර 152ක් පැරණි පොලිස් ඉතිහාසය ගැන ද කතා කරමින් අගමැතිවරයා වර්තමාන රජය පොලිස් සේවය නගා සිටුවීමටත් විශේෂ බළකාය වැනි අංශ හරහා මේ රටේ සංවිධානාත්මක අපරාධ මත්ද්‍රව්‍ය ජාලය අන්තර් ජාලය හරහා සිදුවන අපරාධ සයිබර් අපරාධ වැනි දේවල් මැඩ පැවැත්වීමට අන්තර්ජාතික සම්බන්ධතාවන් ඔස්සේ රටේ ආරක්ෂාව ජාතික ආරක්ෂාව ගොඩ නගා ගැනීමටත් ප්‍රජා පොලිස් සේවාව නගා සිටුවමින් මහජනතාව සහ පොලිසිය අතර සම්බන්ධතාවක් ගොඩ නගා ගනිමින් රට තුළ සිදුවන අපරාධ අඩු කර ගැනීමටත් ක්‍රියා කිරීම හරහා සාමකාමි පරිසරයක් බියෙන් සැකයෙන් තොර ජීවිතයක් ගෙවීමටත් මහජනතාවට අවස්ථාවක් ලබා දී ඇති බවයි.

අප පොලිසියේ පඩි වැඩි කළා තවත් උසස්වීම්වල ගැටලු විසඳීමට කටයුතු කරමින් සිටිනවා පොලිස් නිලධාරීන්ගේ අධ්‍යාපන කටයුතු පුහුණු කටයුතු සම්බන්ධයෙන් වැඩ පිළිවෙළ රැසක් ක්‍රියාත්මක වෙනවා ඔවුන්ගේ වෙනත් ගැටලු ඇත්නම් ඒ සැම දෙයකටම විසඳුම් ලබා දීමට කටයුතු කරගෙනයනවා ඉදිරියේදී ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ ක්ෂණික ඒකකය පිහිටුවීම වැනි දේවල් ද වර්තමාන නීතිය සාමය අමාත්‍ය රංජිත් මද්දුම බංඩාර මහතාත් පොලිස්පතිවරයාත් පොලිස් කොමිසමේ සභාපතිවරයාත් එක්ව නව වැඩ සටහන් රැසක් පොලිසියේ ප්‍රගතිය වෙනුවෙන් කරගෙන යන බව ද පෙන්වා දුන් අගමැතිවරයා ඒ සඳහා අවශ්‍ය මුල්‍ය පහසුකම් ලබා දීමට මුදල් ඇමැතිවරයා කැමැති වී ඇති බව ද කියා සිටියේය.

2014 වර්ෂයේ සිට 2017 වසර දක්වා වූ කාලය තුළ පොලිස් වාර්තාවලට අනුව 2014 සියයට 35ක් වූ අපරාධ අඩුවීමේ ප්‍රතිශතය මෙන්ම සියයට විස්සක් වූ අපරාධ විසඳීමේ ප්‍රතිශතය 2017 වන විට සියයට පනහක් දක්වා අඩු වීමත් සියයට හැත්තැ නවයක් දක්වා වැඩි වීමත් පොලිසිය ලැබු ජයග්‍රහණයක් බව ද පෙන්වා දුන්නේය.

මේ රටේ වැඩියෙන්ම බැනුම් අසන පුද්ගලයන් දෙදෙනකු සිටින බව පෙන්වා දුන් අගැමැතිවරයා ඒ පොලිස් නිලධාරිය සහ දේශපාලනඥයා බව ද කියා සිටියේ පොලිස්පතිවරයා විසින් මාධ්‍යයෙන් වැරදි ලෙස පොලිසිය පිළිබඳ කරුණු මාධ්‍ය තුළ පළවීම ගැන ප්‍රකාශ කිරීම සම්බන්ධව කරුනු පෙන්වා දෙමිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *