පුත්තලමේ පවුල් 25000 ක් ගංවතුර පීඩාවෙන් නිදහස්

(කොළඹ, ලංකාපුවත්) – පුත්තලම, උඩප්පුව ප‍්‍රදේශයට බලපාන ගංවතුර තර්ජනයට සාර්ථකව මුහුණ දීමේ වැඩපිළිවෙලක් ලෙස උඩප්පුව හා අඩිමුනෙයි යන ප‍්‍රදේශ යාකරමින් පාලමක් ඉදිකිරීමට පියවර ගෙන තිබේ.

වාරිමාර්ග අමාත්‍යංශයට අයත් දේශගුණික බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතියේ මූල්‍ය දායකත්වය මත මෙම ව්‍යාපෘතිය කි‍්‍රයාත්මකයි. ඒ වෙනුවෙන් වැය කරන මුදල රුපියල් ලක්‍ෂ 4850 කි.

කටුපොතවැව, මංගලඑළිය, මුන්දලම, මදුරන්කුලිය, කීරංගල්ලිය, පලාවිය ඇතුළු ප‍්‍රදේශ රැුසක් නිරන්තර ගංවතුර තර්ජනයට ලක්වන ප‍්‍රදේශ ලෙස හැදින්විය හැකියි. එම ප‍්‍රදේශවල ඇතිවන ගංවතුර මුහුදට ගලා යාමට සලැස්වීම සඳහා උඩප්පුව මෝය කට පුළුල් කිරීමට සිදු වේ. එහෙත් එවැනි අවස්ථාවල උඩප්පුව හා තදාසන්න ප‍්‍රදේශවල ජනතාවගෙන් එල්ල වන්නේ දැඩි විරෝධයකි.

මෝය කට පුළුල් කිරීමෙන් ගමනා ගමන කටයුතු සඳහා ඇති අවස්ථාව ඔවුන්ට අහිමිවීම මෙලෙස විරෝධය පල කිරීමට හේතුවයි. එසේ වූ විට ඔවුන්ට බෝට්ටු මගින් ගමන් කිරීමට සිදුවේ. මෝය කට පුළුල කළ විට පොලිසිය, රෝහල, දේවාලය ඇතුලූ වැදගත් ස්ථාන දෙපසකට වෙන්වීම ජනජීවිතයට එල්ලවන බාධාවන්ය.

එමෙන්ම ගංවතුර බලපෑමෙන් ඉස්සන් වගාවට මෙන්ම ලූණු කර්මාන්තයටද එල්ල වන්නේ දැඩි බලපෑමකි.

කෙසේ වෙතත් උඩප්පුව හා අඩිමුනෙයි යා කරමින් පාලමක් ඉදි කිරීම මගින් ගංවතුර ඇතිවන අවස්ථාවක කිසිදු විරෝධයකින් තොරව මෝය කට පුළුල් කිරීමට අවස්ථාව උදා වේ. එමගින් ඉහත කී ප‍්‍රදේශවල ගංවතුර තත්ත්වය මුළුමනින්ම පාලනය කිරීමට අවස්ථාව උදා වන අතර, ඉස්සන්, ලූණු ඇතුළු අනෙකුත් කර්මාන්තවලට සිදුවන විනාශයන් වලක්වා ගැනීමට ද හැකි වෙයි.

වාරිමාර්ග හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පෙන්වා දෙන්නේ උඩප්පුව, මංගලඑළිය ඇතුළු ප‍්‍රදේශ ගණනාවක වාර්ෂිකව ඇතිවන මහා ගංවතුර තත්ත්වය සියයට 75 න් පාලනය කිරීමට මෙමගින් හැකිවන බවයි. වසර ගණනාවක් පුරා නිරන්තරයෙන් විපත් ඇති වුවද ගැටළු හදුනාගෙන විසදුම් දීමට හිටපු පාලකයින් හා ආණ්ඩු කි‍්‍රයා නොකළ බව ඇමතිවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම මෙම පාලම ඉදි කිරීමෙන් පසුව නිවාස හානි, වගා හානි ඇතුළු අලාභහානි අවම වන අතර, අපදා සහන වෙනුවෙන් වැය කරන රුපියල් කෝටි ගණනක මුදලක් වාර්ෂිකව ඉතිරි කිරීමටද හැකිවන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

අදාල පාලමේ ඉදිකිරීම් මේ වන විට සිදුවන අතර, එහි දිග අඩි 130 කි. නිරන්තරයෙන් ගංවතුර තර්ජනයට ලක්වන පවුල් 25 000 ට පමණ මෙමගින් සෙත සැලසෙන බව පුත්තලම දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලය සදහන් කළේය.

වාරිමාර්ග හා ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා හා රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා අදාල නිදධාරීන්ද සමග පසුගියදා උඩප්පුව පාළමේ ඉදිකිරීම් සිදුවන ආකාරය නිරීක්‍ෂණය කළහ. ගංවතුර පාලනය කිරීම වෙනුවෙන් කි‍්‍රයාත්මකවන විද්‍යාත්මක ක‍්‍රමවේදයක් වන මෙම ඉදිකිරීම ආපදා පාලනය කිරීමේ ඉදිරි ව්‍යාපෘති සඳහා ආදර්ශකයක් ලෙස උපයෝගී කර ගත හැකි බව ඉංජිනේරුවන් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *