රාජ්‍ය හා පුද්ගලික හවුල්කාරී ව්‍යාපෘති සඳහා නව අණපනත් – අගමැති

(කොළඹ, ලංකාපුවත්) –අනාගත සංවර්ධන ව්‍යාපෘති සඳහා පුද්ගලික ආයෝජන ද එක්රැසක් කර ගැනීම පිළිබඳව කලාපීය කතිකාවක වැදගත්කම, ආසියානු රටවල් සියල්ලම අවබෝධ කරගෙන ඇති බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේ වියට්නාමයේ හැනෝයි නුවර ජාතික සම්මේලන මධ්‍යස්ථානයේ පැවැත්වෙන ආසියාන් ලෝක ආර්ථික සමුළුවේ පූර්ව සැසියේ දී අදහස් දක්වමින් ය.

රාජ්‍ය හා පුද්ගලික හවුල්කාරී ව්‍යාපෘති සඳහා පුද්ගලික අංශය දිරිමත් කරලීමට නව අණපනත්, ශ්‍රී ලංකාව තුළ හඳුන්වාදීමට කටයුතු කරන බවත්, අග්‍රාමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කළේය. ඉදිරි වසර 15 පිළිබඳ කර ඇති පුරෝකථනයන්ට අනූව, ආසියානු කලාපීය සංවර්ධනය කාර්යයන් සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන රාජ්‍ය අංශයට පමණක් දැරීමට කිසිසේත් හැකියාවක් නොමැත.

එම නිසා පුද්ගලික අංශයේ මූල්‍ය ප්‍රතිපාදන සංවර්ධන කාර්යයන් සඳහා යොදවා ගත යුතුය. ඒ සඳහා උපාය මාර්ග හා ක්‍රමවේදය කඩිනමින් සැකසිය යුතු බව ලෝක ආර්ථික සමුළු කළමනාකරණ මණ්ඩලයේ සභාපති බෝර්ග් බ්‍රෙන්ඩේ මහාත මෙහි දී ප්‍රකාශ කළේය.

ඉන් පසු පැවති සාකච්ජා මණ්ඩපයේ දී තම රටවල් හා ආයතන පුද්ගලික ධනය සංවර්ධන කාර්යයන් සඳහා යොදවාගත් ආකාරය සමුළුවේ දී පැහැදිලි කෙරුණි.

ඊට එල්ල වූ අභියෝගයන් සම්බන්ධයෙන් ද රටවල් රැසක නියෝජිතයන් සිය අත්දැකීම්, ඉදිරිපත් කරන ලදි. සාකච්ජාව මෙහෙයවනු ලැබුවේ ජපානයේ එම්.යූ.එෆ්.ජී. බැංකු කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටෝෆර් මාක්ස් විසිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *