දකුණු කොරියාව සිය තාක්‍ෂණ අත්දැකීම් ලංකාව සමඟ බෙදා ගැනීමට කැමැත්තෙන්

(කොළඹ, ලංකාපුවත්) –දකුණු කොරියාව කර්මාන්ත හා ව්‍යාපාර අංශයේ තොරතුරු තාක්‍ෂණය සම්බන්ධ යෝධ පියවර ඉදිරියට තබා ඇති බැවින්, ඒ තාක්‍ෂණය හා අත්දැකීම් ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල් සමග බෙදා හදා ගැනීමට කැමැත්තෙන් සිටින බව දකුණු කොරියානු විදේශ ඇමතිනී කං ක්‍යුං වා (Hon. Madam Kang Kyung Wha) මහත්මිය පැවසුවා ය.

12 වන දා පස්වරුවේ හැනොයි නුවර මැරියට් හෝටලයේ දී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවෙමින් කං ක්‍යුං වා මහත්මිය වැඩිදුරටත් පැවසූයේ ශ්‍රී ලංකා – දකුණු කොරියා ඒකාබද්ධ ආර්ථික කොමිසමේ සාකච්ඡා වාරයන්හිදීත් මේ පිළිබඳව ප්‍රමුඛස්ථානයක් ලබා දීම ඉතා වැදගත් බවය.

ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු කර්මාන්ත කලාපයක් පිහිටුවීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පෙන්වා දුන්නේ මෙවැනි කර්මාන්ත කලාපයක් ඔස්සේ දෙරටටම ප්‍රතිලාභ අත්පත් කර ගැනීමේ මාර්ගයන් ගණනාවක් අලූතින් විවර වන බවය.

ඉන්දීය සාගර කලාපයීය සාමය හා නිදහස් නාවුක ගමනාගමනය සුරක්‍ෂිත කරලීම උදෙසා ශ්‍රී ලංකාවේ වෑයම අගය කළ විදේශ අමාත්‍යතුමිය සියළු ගැටළු සාකච්ඡාවෙන් සාමකාමීව විසදා ගැනීමේ මාවත හැම විටම තමන් අනුගමනය කරන බව අවධාරණය කළාය.

කොරියානු කලාපයීය සාමය ස්ථාවර කරලීම සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් හුවමාරු කර ගැනිණි.

කොරියානු විදේශ අමාත්‍යංශයේ දකුණු ආසියා සහ ශාන්තිකර කලාපීය අධ්‍යක්‍ෂිකා ජෙනරාල් කිම් ඌන් යොං, වියට්නාමයේ දකුණු කොරියානු තානාපති කින් දො හයොන්, උපදේශක කිම් සං හූන් දකුණු කොරියාව නියෝජනය කරමින් ද, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපතිනි හසන්තා දිසානායක, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි සහ විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ද මේ අවස්ථාවට එක් වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *