ජාතික රෝහලේ හෘද රෝග අංශයේ දී නව සැත්කමක් සාර්ථකව සිදු කරයි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සැත්කමක් නොමැතිව හෘදයේ සංස්ථානික මහා ධමනියට රුධිරය ගමන් කරන කපාටය අවහිර වූ රෝගීන් තිදෙනෙකුට පාදයේ කපාටයක් බද්ධ කිරිම කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයේ දී සාර්ථකව සිදු කර ඇත.

කොළඹ ජාතික රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය සේපාලිකා මෙන්ඩිස් මහත්මිය ප්‍රමුඛ ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්, නිර්වින්දන වෛද්‍යවරුන්, හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන්, පුහුණුවන වෛද්‍යවරුන්, හෙද හෙදියන් සහ අනෙකුත් කාර්ය මණ්ඩලය මෙම සැත්කම සදහා දායක වී ඇත.

හෘද වස්තුවේ සංස්ථානික මහා ධමනිය විවෘත කර අවහිර වී ඇති කපාටය වෙනුවට පාදයේ කපාටයක් බද්ධ කර ඇති අතර, ලෝකයේ බොහෝ රටවල වසර ගණනාවක් පුරා මෙම සැත්කම සිදු කර ඇත.

හෘද සැත්කම් සිදු කිරීමේ දී ස්ටෙන්ස් දැමීම වැනි සැත්කමක් මෙහිදී සිදු කරන අතර, සැත්කමට භාජනය වූ රෝගීන් තිදෙනා සුවෙන් පසුවන බව විශේෂඥ වෛද්‍ය සේපාලිකා මෙන්ඩිස් මහත්මිය පවසයි. සැත්කම් සදහා යෝග්‍ය නොවන වයස්ගත පුද්ගලයින් සදහා මෙම සැත්කම සිදු කරනු ලබයි. පාදයකින් කපාටය ලබාගෙන සිදු කරන මෙම සැත්කමේ දී සංකූලතා අවමය.

රෝගීන් සැත්කම සිදු කිරීමෙන් පසු, දින ගණනාවක් රෝහල් ප්‍රතිකාර නොලබා නිවෙස් කරා යාමට හැකියාව ඇත. මෙම සැත්කම රෝගියා සිහියෙන් සිටිය දි සිදු කරනු ලබයි. නමුත් මෙරට සිදු කළ සැත්කමේ දී රෝගීන් තිදෙනාට සිහිය නැති කර මෙය සිදුකළ බව විශේෂඥ වෛද්‍ය සේපාලිකා මෙන්ඩිස් මහත්මිය ප්‍රකාශ කරයි.

මෙම සැත්කම පිළිබදව අදහස් පළ කරන විශේෂඥ වෛද්‍ය සේපාලිකා මෙන්ඩිස් මහත්මිය – “මෙම සැත්කම සාර්ථකව සිදු කළා. රෝගීන් තිදෙනාට කිසිම සංකූලතාවයක් ඇති වුයේ නැහැ. මෙම ක්‍රමය තව තවත් දියුණු කළ යුතුයි. මෙම සැත්කම සිදු කිරීම සදහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා කළ සහයෝගය අගය කළ යුතුයි. වසරකට පෙර සෞඛ්‍ය අමාත්‍යවරයා සමග කළ සාකච්ඡාවක දී මෙම නව ක්‍රමය පිළිබදව මම කරුණු ඉදිරිපත් කළා. එම අවස්ථාවේ දීම සෞඛ්‍ය අමාත්‍යවරයා අවශ්‍ය සියලුම පහසුකම් ලබාදීමට පොරොන්දු වුනා. අවශ්‍ය රෝගින් හදුනාගැනීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යවරයා සියලුම වෛද්‍ය උපකරණ, පහසුකම් ලබාදීමට කටයුතු කළා. වෛද්‍ය විද්‍යාව පිළිබද දැනුමක් ඇති සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම සැත්කම සදහා දැක් වූ සහයෝගය අගය කළ යුතුයි යැයි පැවසුවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *