සුරක්ෂිත නිවසක් ලබාදීමේ වැඩපිළිවෙළ යථාර්ථයක් වී තිබෙනවා – ජනපති

(කොළඹ, ලංකාපුවත්) –පැහැදිළි ජාතික සැලැස්මකට අනුව කි‍්‍රයාවට නංවන ලද නිවාස ප‍්‍රතිපත්තිය හේතුවෙන් ශ‍්‍රී ලංකාවේ සෑම පවුලකටම මූලික පහසුකම් සහිත සුරක්ෂිත නිවසක් ලබාදීමේ වැඩපිළිවෙළ යථාර්ථයක් කර ගැනීමට වත්මන් රජයට හැකියාව ලැබුණු බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ මුල්ලේරියාව, මණ්ඩාවිල ප‍්‍රදේශයේ ඉදි කළ Lake Crest Residencies මධ්‍ය ආදායම් නිවාස ව්‍යාපෘතිය ඊයේ(12) පස්වරුවේ ජනතා අයිතියට පවරා දෙමිනි.

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මගපෙන්වීමෙන්, නාගරික සංවර්ධන අධිකාරියේ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියේ සැලසුම් හා මූල්‍ය දායකත්වය යටතේ ඉදිකරන ලද මෙම මහල් නිවාස ව්‍යාපෘතිය නිවාස ඒකක 500 කින් සමන්විතය.

රටේ ප‍්‍රධාන නගර ආශි‍්‍රතව හා අර්ධ නාගරික ප‍්‍රදේශවල රජයේ හා පෞද්ගලික අංශයෙහි සේවය කරනු ලබන, එහෙත් තම රැකියා ප‍්‍රදේශය ආශ‍්‍රිතව නේවාසික පහසුකම් ලබා ගැනීමට පිරිවැයක් දැරීමට හැකියාවක් නොපවතින වෘත්තිකයින්, පරිපාලන නිලධාරින්, මාධ්‍යවේදින්, තාක්ෂණ අංශයේ නිලධාරින් වැනි විවිධ තනතුරු දරන සේවකයින් මෙම ව්‍යාපෘතියෙහි ඉලක්ක ගත කණ්ඩායම් වේ. නිවාස ලබා ගැනීම සඳහා බැංකු ණය පහසුකම් ද සලසා තිබීම විශේෂත්වයකි.

අක්කර පහක භූමිභාගයක් පුරා පැතිර පවතින නිවාස සංකීර්ණය මහල් 05 කින් සමන්විත අතර නවීන පහසුම්වලින් මෙන්ම පානීය ජලය, විදුලිය, පුළුල් මංමාවත් සහ අපිරිසිදු ජලය පිරිපහදුකර පරිසරයට මුදා හැරීමේ ජල පිරිපහදු මධ්‍යස්ථානයකින් ද සමන්වි ය.

වර්ග අඩි 442කින් යුත් එක් නිවසක් නිදන කාමර 02 ක්, විසිත්ත කාමරයක්, සනීපාරක්ෂක පහසුම් සහිත නාන කාමරයක්, මුළුතැන්ගෙය සහ සදළුතලයකින් සමන්විතය.

සර්ව ආගමික ආශිර්වාද මධ්‍යයේ සමරු ඵලකය නිරාවරණය කර නිවාස සංකීර්ණය ජනතා අයිතියට පැවරු ජනාධිපතිතුමා සංකේතාත්මකව එහි එක් නිවසක් විවෘත කිරීමට ද එක් විය.

අනතුරුව නිවාස සංකීර්ණයේ නිරික්ෂණ චාරිකාවකට ද එක් විය.

ඉන් අනතුරුව පැවති උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ මෙරට නිවාස සහ ගොඩනැගිලි ඉදිකිරීමේ ප‍්‍රතිපත්තියේ පැවති දුර්වලතාවයන් හේතුවෙන් සහ එම නිදහස වැරදි අන්දමින් භාවිතයට ගැනීම හේතුවෙන් ඉඩම් පිළිබඳ ගැටලු රැසක් රට තුළ මතු වූ බවයි.

වැඩිවන ජනගහණයට සාපේක්ෂව භූමිය වර්ධනය නොවන අතර ජාතික ආහාර නිෂ්පාදනය ඇතුළු කෘෂිකර්මාන්තයට අවශ්‍ය ඉඩම් ප‍්‍රමාණය සේම, වන ඝනත්වය ද ආරක්ෂා කර ගනිමින් ගොඩනැගිලි සහ නිවාස ඉදිකිරීමේ දී දීප ව්‍යාප්ත වශයෙන් පැහැදිළි ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ය.

එමෙන්ම ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ නිවැරදි රාජ්‍ය ප‍්‍රතිපත්තියක් තුළ සැලසුම් කි‍්‍රයාත්මක කිරීම හේතුවෙන් ඉකුත් වසර තුන හමාර තුළ වත්මන් රජය ජයග‍්‍රහණ රැසක් අත්කරගත් බවයි. මෙතෙක් කල් විසඳුම් ලබාගැනීමට නොහැකි වූ ගැටලු රැසකට ද ඒ තුළින් විසඳුම් ලබාගත හැකිවූ බව සඳහන් කළ ජනාධිපතිතුමා කොළොන්නාව, මීතොටමුල්ල කුණු කන්දේ සිට අහිමි වූ ජාත්‍යන්තර සහය නැවත දිනා ගැනීම දක්වා වූ ජයග‍්‍රහණ එහිදී උදාකරගත හැකි වූ බව ද සඳහන් කළේය.

අමාත්‍ය පාඨලී චම්පික රණවක, කොළඹ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස්.එම්. මරික්කාර්, කොළොන්නාව ප‍්‍රාදේශීය සංවර්ධන කමිටු සම සභාපති ප‍්‍රසන්න සෝලංගආරච්චි යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *