ජාතික ඉදිකිරීම් ප‍්‍රතිපත්තියක කඩිනම් අවශ්‍යතාවය මතුව තිබෙනවා – ජනපති

(කොළඹ, ලංකාපුවත්) –මිහිතලයේත්, ජීවින්ගේත් පැවැත්ම තහවුරු කිරීම සඳහා සොබාදහම විසින් කරන ලද අපූරු නිර්මාණයක් වන ඕසෝන් වියන ආරක්ෂා කර ගැනීම සඳහා සියලුදෙනා වගකීම් ඉටුකළ යුතු බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (17) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පැවති ජාතික ඕසෝන් දින සැමරුම් උත්සවය අමතමිනි.

පෙරේදා දිනට යෙදී තිබූ ජාත්‍යන්තර ඕසෝන් දිනය හා මොන්ටි‍්‍රයල් සන්ධානයේ 31 වන සංවත්සරයට සමගාමීව මෙය සංවිධානය කර තිබුණි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ ඕසෝන් වියන ආරක්ෂා කර ගැනීම සඳහා මොන්ටි‍්‍රයල් එකඟතාවය, වියානා එකඟතාවය යන සියලු ජාත්‍යන්තර එකඟතාවයන් සහ ප‍්‍රඥප්තින් වෙනුවෙන් ශ‍්‍රී ලංකාව කැපව සිටින බවයි.

මිනිසා ප‍්‍රමුඛ සියලු සත්වයා සහ ගහ, කොළ, ඇළ, දොළ ඇතුළු සියලු ස්වාභාවික සම්පත් රැක ගැනීමේ ප‍්‍රධාන වගකීම දැරිය යුත්තේ මිනිසා විසින්ම බව ද මෙහිදී සඳහන් කළ ජනාධිපතිතුමා දැඩි පරිසර හානියක් හරහා මිනිසා විසින්ම මිනිසා විනාශ කරමින් සිටින බව අද පරිසර විද්‍යාඥයින් අනතුරු අඟවා තිබෙන බව ද කියා සිටියේය.

අපේ රටේ ඉදිකිරීම් පිළිබඳ ප‍්‍රතිපත්තියක් නොමැතිවීම ද දැඩි පරිසර හානියකට හේතුවී තිබෙන බව සඳහන් කළ ජනාධිපතිතුමා රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ එකඟතාවයෙන් කි‍්‍රයාත්මක වන ජාතික ඉදිකිරීම් ප‍්‍රතිපත්තියක කඩිනම් අවශ්‍යතාවය මතුව තිබෙන බව ද කියා සිටියේය.

පරිසරය රැක ගැනීම වෙනුවෙන් සියලුදෙනා තම වගකීම් ඉටුකිරීමේ වැදගත්කම මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළ ජනාධිපතිතුමා රුක් රෝපණ වැඩසටහන් ඇතුළු පරිසරය රැක ගැනීම වෙනුවෙන් රජය ගෙන යන පුළුල් වැඩපිළිවෙළ පිළිබඳව ද පැහැදිලි කළේය.

මහාචාර්ය චන්දන ජයරත්න මහතා විසින් මෙම උත්සවයේ ආරාධිත දේශනය සිදු කරනු ලැබීය.

ඕසෝන් දිනය නිමිත්තෙන් පාසල් දරුවන් වෙනුවෙන් දීප ව්‍යාප්තව පවත්වන ලද තරගවල ජයග‍්‍රාහකයින්ට තිළිණ ප‍්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

ශ‍්‍රී ලංකා රේගුවට ශීතකාරක හඳුනාගැනීමේ උපකරණ ලබාදීම හා තාක්ෂණික සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා තාක්ෂණික ආයතන 02කට වායු සමීකරණ යන්ත‍්‍ර 02 ක් ලබාදීම ඇතුළු වැඩසටහන් ද ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදු විය.

පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *