නාමල් කුමාරගේ ජංගම දුරකතනය CIDයට

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපතිතුමා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පිළිබඳ දූෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර මහතා කළ හෙළිදරව්වේ සංස්කරණය නොකළ දර්ශන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට බාරදෙන ලෙස, විද්‍යුත් මාධ්‍ය ආයතන 4කට අද (18)නියෝග කෙරුණි.

ඒ, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුවය.

දූෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර මහතා අද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණි. ඒ, ඔහු හෙළි කළ කරුණු සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහාය.

ඔහුගේ ජංගම දුරකතනය ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගෙන තිබේ.

පසුගිය 12 වැනිදා මහනුවර දී මාධ්‍ය හමුවක් පවත්වමින් නාමල් කුමාර මහතා ප්‍රකාශ කළේ, ජනාධිපතිතුමා ඝාතනය කිරීමට ත්‍රස්ත විමර්ශන ඒකකයේ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා කුමන්ත්‍රණය කළ බවයි.

ඒ අනුව, විශේෂ විමර්ශනයක් ආරම්භ කෙරුණි.

චෝදනා එල්ලවූ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් මූලස්ථානයේ තාක්‍ෂණ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කර තිබේ. පොලිස්පතිවරයා ස්ථාන මාරුව සිදුකර ඇත්තේ, පොලිස් කොමිසමේ ද අනුමැතිය සහිතවය. ඒ පිළිබඳ වාර්තාවක් වහාම ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *