ගාමිණී සෙනරත්ට එරෙහි නඩුව දිනපතා

(කොළඹ, ලංකාපුවත්) – හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී, ගාමිණී සෙනරත් මහතා ඇතුළු 04 දෙනෙකුට එරෙහි නඩුව, ඔක්තෝබර් මස 29වනදා සිට දිනපතා කැඳවීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය තීරණය කරයි.

ඉකුත් රජය සමයේ ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි මොවුන්ට චෝදනා එල්ලවී තිබේ.

එම නඩුව අද(19) සම්පත් අබේකෝන්( සභාපති),සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

එහිදී විත්ති පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ එම නඩුවට අදාළව සාක්ෂි කරුවන් පොලිසියට ලබාදුන් ප්‍රකාශ සමඟ ඇතැම් ලේඛන බැඳී පවතින බවත් මෙම නඩුවට මුහුණදීම සඳහා එම ලේඛන ද තමන් වෙත ලබා දීම අවශ්‍ය බව කියා සිටියේය.

ඊට ප්‍රතිචාර දක්වමින් රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා අධිකරණයට දන්වා සිටියේ අදාළ ලේඛන ලබන සිකුරාදාට පෙර විත්ති පාර්ශව වෙත ලබාදීමට පියවර ගන්නා බවයි.

ලේඛන හුවමාරු කරගැනීම සම්බන්ධයෙන් රජයේ සහ විත්තිකාර පාර්ශවයේ නීතිඥවරුන් දක්වන සහයෝගය පිළිබඳව අධිකරණය ප්‍රසාදය පළ කරන බව සඳහන් කළ සභාපති විනිසුරු සම්පත් අබේකෝන් මහතා මෙම නඩු විභාගය සාර්ථක කර ගැනීමට විත්ති සහ පැමිණිලි පාර්ශවයේ නීතිඥවරුන්ගෙන් ලැබෙන සහාය ඉතා වැදගත් වන බව ද කියා සිටියේය.

අනතුරුව නඩු විභාගය ඔක්තෝම්බර් මස 29 සිට දිනපතා පැවැත්වීමට පියවර ගන්නා බව සඳහන් කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල එදිනට සාක්ෂි කරුවන් හතර දෙනෙකුට අධිකරණ හමුවේ පෙනී සිටින්නැයි දන්වා නියෝගයක්ද නිකුත් කරනු ලැබීය.

කෙසේවෙතත් විත්තියට ලබාදිය යුතු ලේඛන නිසියාකාරව ලැබී තිබේද යන්න පිළිබඳව පරික්ෂා කිරීම සඳහා නඩුව නැවත මේ මස 28 වන දා කැඳවන බවද විනිසුරුවරු සඳහන් කළේය.

2014 වසරේ පෙබරවාරි මස පළ වනදා සිට 2015 වසරේ ජනවාරි මස 20 වනදා දක්වා කාලසීමාව තුළ ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් හෙලන්කො හොටෙල් ඇන්ඩ් ස්පා නමැති සමාගමේ යෙදවීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් පොදු දේපොළ පනත යටතේ ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබේ.

මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස පියදාස කුඩාබාලගේ ,නීල් බණ්ඩාර හපුහින්න සහ ලසන්ත බණ්ඩාර යන අය නම් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *