කුවේටිහි දී කෝටි 13ක් සොරකම් කළ බවට චෝදනා එල්ලවූ ශ්‍රමිකයා දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) –මතුගම, යටියන, අගලවත්ත ලිපිනයේ පදිංචි බියුටි චතුරංග මහතා කුවේට්හි සේවය කරන අතරතුර ඔහුගේ හාම්පුතා විසින් සිය නිවසේ ශ්‍රි ලංකා මුදලින් රුපියල් කෝටි 13ක වටිනාකමකින් යුත් මුදලක් සොරකම් කිරීම සම්බන්ධයෙන් චතුරංග මහතාට චෝදනා එල්ල කර ශාරීරික වද හිංසාවන්ද පමුණුවා නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සදහා ඉදිරිපත් කර තිබේ.

එම අවස්ථාවේදී ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ජයන්ත සමරවීර මහතා මෙම සිදුවීම සම්බන්ධයෙන් 2016 වර්ෂයේදී එවකට විදේශ රැකියා අමාත්‍යවරියට දැනුම් දී තිබෙන අතර අමාත්‍යවරිය කඩිනමින් ඒ සදහා ක්‍රියාත්මක වී තිබේ. අමාත්‍යවරිය විසින් කුවේට් තානාපති කාර්යාලයේ උපදේශකතුමිය දැනුවත් කිරීමෙන් අනතුරුව තානාපති කාර්යාලයේ නිළධාරීන් විසින් ක්ෂණිකව ක්‍රියාත්මක වී අදාළ නීතිමය කටයුතු සිදුකර ඔහු සියළු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරගන්නා ලදී.

චතුරංග මහතා පසුගිය සතියේ දිවයිනට පැමිණි අතර, ඊයේ දිනයේදී අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේදී ඇමතිනිය හමුවී සිදුකළ කාර්යභාරය වෙනුවෙන් ස්තූතිය පුදකරන ලදී.

මෙහිදී අමාත්‍යතුමිය සදහන් කළේ, විදේශ රැකියා අමාත්‍යවරිය වශයෙන් ධුරය දරන සමයේදී මෙවැනි විශාල පිරිසක් විවිධ කරදරවලින් බේරාගැනීමට කාර්යාංශය යටතේ පවතින තානාපති කාර්යාලවල නිළධාරීන්ගේ මැදිහත්වීම යටතේ හැකිවූ බවත්, තමන් විදේශ රැකියා අමාත්‍යවරිය වශයෙන් සිදුකළ කාර්යභාරය පිළිබදව සෑහීමකට පත්වන බවයි. විශේෂයෙන්ම ගල් ගසා මරාදැමීමට නියම වූ කාන්තාවක් බේරාගෙන දිවයිනට ගෙන්වාගෙන තිබෙන අතර, ඇය මේ වන විට පවුලේ ඥාතීන් සමග සතුටින් සිටින බවත් ඇය කවුද යන්න පිළිබඳව මේ වන තෙක් කිසිඳු මාධ්‍යයකට හෙළි නොකළ බවත්, ඒ ඇයගේ ආත්මගරුත්වය ආරක්ෂා කිරීමට බවත් සඳහන් කළාය. එසේම තමන් අමාත්‍ය ධුරය‍ භාරගත් සමයේ තානාපති කාර්යාල යටතේ පවතින සුරක්ෂා නිවාසවල විවිධ කරදරවලට ලක්වූ ශ්‍රමිකයින් 1600ට අධික පිරිසක් සිටි අතර, සිය ධුර කාලය අවසානයේදී එම ප්‍රමාණය 76 දක්වා අඩුවූ බව අමාත්‍යතුමිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

ශ්‍රී ලාංකිකයින්ට සිදුවන විවිධ කරදරවලදී කිසිඳු පක්ෂ පාට භේදයකින් තොරව කටයුතු කරන බවත්, මේ සිදුවීම සම්බන්ධයෙන් තොරතුරු ලබාදුන් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රි ජයන්ත සමරවීර මහතාටද ස්තූතිය පළකරන බවත් ප්‍රකාශ කළාය.

මෙම අවස්ථාවේදී බියුටි චතුරංග මහතාද අදහස් පළකරමින්, “මම මතුගම යටියන අගලවත්තේ. මම කුවේට්වල සේවය ගිහින් වසර දෙකක් යනකොට එහේ හොරකමකට අහුවුණා. ලංකාවේ මුදලින් කෝටි 13ක. මගේ ජීවිතය පවා නැතිකරන්න ගියේ. මම ඒ වෙලාවේ කතා කළා ජයන්ත සමරවීර මන්ත්‍රිතුමාට. එතුමා ක්‍රියාත්මක වෙලා එවකට හිටපු තලතා අතුකෝරළ ඇමතිතුමියට කතාකළා. මේ පිළිබදව සොයා බලලා ක්‍රියාත්මක වෙලා මගේ ජීවිතය බේරාගත්තා. මේ පිළිබදචව නීතිය හරියට ක්‍රියාත්මක කරලා මාව නිදොස් කොට නිදහස් පුද්ගලයෙක් බවට පත්කරපු ගරු පාර්ලිමේන්තු මන්ත්‍රි ජයත්න සමරවීර මැතිතුමාටත්, ගරු ඇමතිනි තලතා අතුකෝරළ මැතිතුමියටත් දීර්ඝායුෂ ලැබෙන්න ඕනි මගේ ජීවිතේ බේරාගත්තට. මේක තමා සැබෑ දේශපාලනය. පක්ෂ පාට භේදයකින් තොරව ජයන්ත සමරවීර මන්ත්‍රිතුමා කතාකළාම ඇමතිතුමිය ක්ෂණිකව ක්‍රියාත්මක වුණු නිසා තමයි මම අද මෙතන ඉන්නේ. ඒ නිසා ඒ දෙපල වෙනුවෙන් මගේ ජීවිතය කැප කරන්න ඕනිම මොහොතක සූදානම්. ඒ වගේ හොඳින් පාලනය කරපු වෙන අමාත්‍යංශයක් මම දන්නේ නෑ. අමාත්‍යතුමිය පාලනය කරන කාලේ තානාපති කාර්යාල ඇත්තටම අපේ බවට පත්වෙලා තිබුණා. අසරණ වුණු තමන්ගෙම රටේ අයට පිහිටවුණු නියම ආයතනයක් බවට ඒ කාලේ තානාපති කාර්යාල පත්වෙලා තිබුණා. ඒකට ගරු ඇමතිතුමියට පින් සිද්ධ වෙන්න ඕනි. ”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *