තාජුඩීන් පැහැරගත් ඩිෆෙන්ඩරය ගැන තොරතුරු

(කොළඹ, ලංකාපුවත්) –රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට යොදා ගෙන ඇත්තේ ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය හිටපු ජනපති බිරිය ශිරන්ති රාජපක්ෂ මහත්මිය වෙත සිරිලිය සවිය ව්‍යාපෘති කටයුතු සඳහා පරිත්‍යාග කළ ඩිෆෙන්ඩර් රථය බවට තොරුතුරු ලැබී ඇතැයි රහස් පොලීසිය ඊයේ (20) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා වෙත දැනුම් දුන්නේය.

වර්ෂ 2011 අ‍ගෝස්තු11වන දින ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය ශිරන්ත රාජපක්ෂ මහත්මිය වෙත සිරිලිය සවිය ව්‍යාපෘතිය සඳහා මෙම ඩබ්ලිව්.පී.කේ.ඒ 0642 දරණ ඩිෆේන්ඩර් රථය පරිත්‍යාග කර ඇත.

පුද්ගලික ඔත්තුකරුවකු මඟින් ලද මෙම තොරුතුර සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවත් මෙම රථයේ පාට වෙනස් කිරීම සම්බන්ධයෙන් ද තවත් නඩුවක් ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින බවත් රජයේ අධිනීතිඥ ඩිලාන් පෙරේරා මහතා අධිකරණය වෙත දැන්වීය.

නඩුව ඊයේ (20) යළි කැඳවු අතර වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් රහස් පොලිසිය සඳහන් කළේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හා එම පවුලේ සමාජිකයන් වෙත ආරක්ෂක කටයුතු සඳහා යොදවා සිටි නාවිකයන් 2012/1/5සිට 2012/5/30 සියලු ලේඛන නාවික හමුදාපතිවරයාගෙන් ඉල්ලා ඇතත් එම කාලසිමාවට අයත් ලේඛන පරාක්‍රම ආයතනයේ නොමැති බවට නාවික හමුදාපතිවරයා දැනුම් දී ඇති බවයි. මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා මෙම මස 25 වන දින නාවික හමුදාපතිවරයාගෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා රහස් පොලිසිය වෙත කැඳවා ඇති බවත් කීය.

වර්ෂ 2012/5/14 ජනාධිපති මන්දිරයේ අනපේක්ෂිත ලෙස හැසුරුණු වාහන සම්බන්ධයෙන් හා රියදුරුන් එම වාහන නිකුත් කරනු ලැබුවේ කවුරුන්ට ද ? යන්න පිළිබඳ වර්තමාන ජනාධිපති ලේකම් කාර්යාලයේ ලේකම් අභ්‍යන්තර පාලන ප්‍රවාහන අධ්‍යක්ෂ කන්දගොඩ ගමගේ නිමල් ධර්මප්‍රිය යන අයගේ ප්‍රකාශයක් ලබා ගත් බවට ද ‍රහස් පොලිසිය අධිකරණය වෙත දැන්වීය.

සිද්ධිය වු වකවානුවේ දී නාවික හමුදා නිලධාරීන් සෙසු නැවියන් පාවිචිචි කළ පී.බී.7935 ,පී.ඩී.8001 යන කැබ් රථවල හා පී.බී. 0556 , බී.ඒ.ඩබ්ලිව් මෝටර් රථවලට අදාළ ධාවන සටහන් පොත් පරීක්ෂණ සඳහා කඩිනමින් ලබා දෙන ලෙසට 2016/1/18 ජනාධිපති අභ්‍යන්තර ලේකම් මඟින් ඉල්ලීම් කළ බව සදහන් කරන රහස් පොලිසිය අදාල ධාවන සටහන් පොත් සොයා ගත නොහැකි බවට වාර්තා කර ඇති බවට අධිකරණය වෙත දැනුම් දී ඇත.

සිද්ධිය වු අලුයම් කාලයේ දී ජනාධිපති මන්දිරයේ ප්‍රධාන දොරටුවෙන් අනපේක්ෂිත ලෙස ඇතුළු වු හා පිටත් වු වාහන එනම් PD-1387, LD- 8180, KA-9810 ,64-4470, KD – 0124 , KA- 9268 , LW- 0573 , PA -7281 දරණ රථ ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් අංක සඳහන් වාහන 2012 මැයි මාසයේ දී නිකුත් කර තිබු තැනැත්තන් හා එකි රථවල රියදුරු ලෙස කටයුතු කර ඇති පුද්ගලයන් සම්බන්ධ වැඩිදුර වාර්තා ලබා දෙන ලෙසට 2018/4/12 වන දින ඉල්ලීමක් කර ඇති බවත්, මෙතෙක් එම වාර්තා නොලැබුණු බවත් රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

තවද මරණකරු මිය යාමට ආසන්න අවස්ථාවේ දී මත්පැන් සාදයක් පවත්වා ඇති අතර එම ස්ථානයේ සිට මරණකරුගේ සමීපතයකු වන රස්මිද සිල්වා යන අය 2012/5/16 අනපේක්ෂිත ලෙස සැක සහිත කෙටි පණිවිඩ රාශියක් ලබා දීම සම්බන්ධයෙන් හා දුරකථන විශ්ලේෂණ වාර්තා අනුව අනාවරණය වු කරුණු අනුව පුද්ගලයන් 14දෙනෙකු රහස් පොලිසිය වෙත කැඳවා ප්‍රශ්න කර සටහන් කර ගත් බවට ද ‍රහස් පොලිසිය අධිකරණයට වාර්තා කර තිබිණි.

තජුඩීන්ගේ සමීප මිතුරන්ගේ ප්‍රකාශ මත ලද තොරතුරු අනුව ඔහු මියයාමට පෙර තර්ජනය කිරීම් හා බද්ධ කළ ඡායාරූප එවීම සම්බන්ධයෙන් කරුණු අනාවරණය වන බැවින් ඒ සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා අදාළ ලැප්ටොප් හා පරිගණක යන්ත්‍ර රජයේ රස පරීක්ෂක වෙත යොමු කර වාර්තාවක් කැඳවන ලෙසට රහස් පොලිසිය අධිකරණය වෙත ඉල්ලීම් කර තිබිණි.

වර්ෂ 2012/1/1 සිට 2012/5/17 දක්වා කාලය තුළ දී මෙම යන්ත්‍ර තුළ අන්තර්ගතව තිබු දත්ත සම්බන්ධ රජයේ සැකකටයුතු ලේඛන පිළිබඳ පරීක්ෂක එස්.ඒ .බටකන්ද මහතාගේ සම්පුර්ණ වාර්තා සංදේශය රහස් පොලිසිය අධිකරණය වෙත ඉදිරිපත් කළේය.

වසිම් තාජුඩින්ගේ දුරකථනයට 2012/5/17 වන දින රාත්‍රි 12.32කට 0773554441 දරණ අංකයෙන් මිස් කොල් ඇමතුමක් ලැබී ඇති බවත් ඊට අදාළ විස්තර දුරකථන වාර්තාවල ද සඳහන් නොවන බැවින් කාර්මික උපකරණ හා කුළුණ පිළිබඳ සටහන්වලින් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව රහස් පොලිසිය අධිකරණය ‍වෙත දැනුම් දුන්නේය.

නාරාහේන්පිට‍ හිටපු ස්ථානාධිපති ඩෙමියන් පෙරේරා දෙවන සැකකරු වු හිටපු නියෝජ්‍ය පොලිස් පති අනුර සේනානායක මහතා සිද්ධිය වු දින හා ඊට පසු දින කොළඹ ජනාධිපති මන්දිරය හා අරලියගහ මන්දිරයට දී තිබු සැක සහිත දුරකථන ඇමතුම් හා අභ්‍යන්තර දුරකථන ඇමතුම් පිළිබඳ විස්තර වාර්තා ශ්‍රි ලංකා ටෙලිකොම් ආයතනයේ මෘදුකාංග පිළිබඳ ඉංජිනේරු මහත්වරුන්ගේ අධීකෂණය යටතේ විමර්ශන සිදු කරන බවට රහස් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.

මහේස්ත්‍රාත් – මෙම සැකකරුවන් සම්බන්ධයෙන් දැනට සාක්කි අනාවරණය වෙලා තිබෙනවාද ?

රජයේ අධි නීතිඥ- මොවුන් කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළා .

මහෙස්ත්‍රාත්- ගොනු පරීක්ෂා කිරීමේ දී ප්‍රමාදයක් සිදු ව ඇති බව පේනේනවා. ඒ නිසා විමර්ශන කඩිනම් කරන්න නියෝග කරනවා. සැකකරුවන් තිදෙ‍නාට එරෙහිව සාක්කි සම්පිණ්ඩන වාර්තා ගොනු කරන්න. ප්‍රමාදය සම්බන්ධ වාර්තාවක් ඉදිරි දින අධිකරණයට ගොනු කළ යුතුයි. තොරතුරු දුන්නේ නැති නම් දණ්ඩ නීති සංග්‍රහය යටතේ 173/174 වගන්ති ප්‍රකාරව පියවර ගන්න නීතිපතිවරයාට හැකියි. අධිකරණය ලෙස අවශ්‍ය විමර්ශන සඳහා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 124 වගන්ති ප්‍රකාරව අවශ්‍ය සහාය ලබා දෙනවා.

අදාළ කරුණු සළකා බැලු මහෙස්ත්‍රාත්වරයා කඩිනමින් විමර්ශන අවසන් කර ලබන නොවැම්බර් 29 වන දිනට අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට රහස් පොලිසියට නියෝග කළේය.

සිද්ධියට අදාළ සැකකරුවන් වන හිටපු නියෝජ්‍ය පොලිස් පති අනුර සේනානායක, නාරාහේන්පිට පොලිසියේ අපරාධ ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සුමිත් චම්පික පෙරේරා හා හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරි ආනන්ද සමරසේකර යන අය අධිකරණය හමුවේ පෙනි සිටි‍යහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *