පිදුරංගල පර්වතයේ අඩ නිරුවත් ඡායාරූප ගැන පරීක්‍ෂණ

(කොළඹ, ලංකාපුවත්) – සීගිරිය පොලිස් වසමේ පිදුරංගල රජමහා විහාරස්ථානයට අයත් පර්වත මුදුනේ සිට අඩ නිරුවත් ඡායාරූප ගෙන හ්වා සමාජ මාධ්‍ය ජාලාවලට මුදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.

මේ සම්බන්ධයෙන් සීගිරිය පොලිස් ස්ථානයට අද(25) දින පැමිණිල්ලක් ද ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

ඒ අනුව සීගිරිය පොලිසිය 1983 අංක 22 දරඛ අසභ්‍ය ප්‍රකාශන වැලැක්වීමේ සංශෝධන පනත හා පොලිස් ආඥා පනත ප්‍රකාරව මෙම ඡායාරූපයන්ට පෙනී සිටින පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරනු ඇත.

සීගිරිය ආසන්නයේ පිහිටා ඇති පිදුරංගල පර්වත මුදුනේ සිට අඩ නිරුවත් ඡායාරූප ගත් තරුණයින් පිරිසක් එම ඡායාරූප සමාජ ජාල වෙත මුදා හැර තිබුණි. ඒ සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළ දැඩි කතාබහට ලක්ව තිබේ.

ඓතිහාසික පූජා භුමියක් ලෙස සැලකෙන පිදුරංගල විහාරස්ථානය මහ රහතුන් වහන්සේ වැඩ සිටි ස්ථානයක් ලෙස සැලකෙයි. එසේම දළදා වහන්සේ ආරක්‍ෂා කිරීමට යොදා ගත් ස්ථානයක් බවටත්, මහා වංශය රචනා කිරීමට යොදාගත් ස්ථානයක් බවටත්, කාෂ්‍යප රජුන්ගේ භෂ්ම තැන්පත් කර ඇති බවටත් මෙම ස්ථානය ප‍්‍රසිද්ධය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × 1 =