ශ්‍රී ලංකා එක්දින සංචිතයෙන් මැතිව්ස් සමඟ කුසල්-සුරංග දෙදෙනාත් එළියට

(කොළඹ, ලංකාපුවත්) –එළැඹෙන එංගලන්තය සමග එක්දින තරගාවලියේදී හිටපු නායක මැතිව්ස්, කුසල් මෙන්ඩිස් සහ සුරංග ලක්මාල් ශ්‍රී ලංකා එක්දින සංචිතයෙන් ඉවත් කර තිබේ.

ශ්‍රී ලංකා එක්දින හා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට දිනේෂ් චන්දිමාල් නම් කොට ඇති අතර ඉදිරිපෙළ පිතිකරු සදීර සමරවික්‍රම සහ වේගපන්දු යවන නුවන් ප්‍රදීප් සහ දඟ පන්දු යවන ලක්ෂාන් සඳකැන් කණ්ඩායමට ඇතුළත්ව සිටිති.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී එංගලන්තය සමග ක්‍රීඩා කරන එක්දින හා ටෙස්ට් සංචිත ප්‍රකාශයට පත්කළ අතර ඇන්ජලෝ මැතිව්ස්ට ටෙස්ට් සංචිතයේ ස්ථානයක් හිමිකර දී තිබේ.

මේ මාධ්‍ය හමුවේදී ආසියානු කුසලාන ක්‍රිකට් පරාජය පිළිබඳව ක්‍රිකට් තේරීම් කමිටුවට හා ප්‍රධාන පුහුණුකරුට දිගින් දිගටම ප්‍රශ්න යොමුවූ අතර මැතිව්ස් ඉවත් කිරීම පිළිබඳව චෝදනා ගැනුණි.

එහිදී පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පැවැසුවේ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ලද පරාජය එක් අයකු මත පැටවීමට කිසිදු උත්සහයක් නොමැති අතර තමන් ඇතුළු කණ්ඩායමේ සියලු සාමාජිකයන් පරාජය භාරගත යුතු බවයි.

‘ආසියානු කුසලාන තරගාවලියේදී සෑම ඉරියව්වකින්ම අපි දක්ෂතා දැක්වුවේ නැහැ. අපිට එරෙහි කණ්ඩායම් හොඳින් ක්‍රීඩා කළා. අපේ ක්‍රීඩකයන් තුළ තිබුණු දක්ෂතා පිටියේදී දකින්න ලැබුනේ නැහැ. මැතිව්ස්ට නායකත්වය ගන්න ඉල්ලීම් කළේ මමයි. නමුත් දැන් තේරෙනවා ඔහු ක්‍රිකට් යෝග්‍යතා මට්ටම දියුණුකර ගත යුතු බව. අපි ඔහුට යම් කාලයක් ලබාදී තිබෙනවා ක්‍රිකට් ෆිට්නස් දියුණුකර ගන්න. අපේ පන්දු රැකීම තරගයෙන් තරගයට හොඳ වුනේ නැහැ. ඒ වෙනුවෙන් යම් යම් උපක්‍රම අපි යොදමින් සිටිනවා. පන්දු රැකීමේ අංශය දියුණු කරගන්න සැලසුම් සකස් කරමින් සිටින්නේ’ ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු පැවැසීය.

මෙහිදී තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්රෝයි මහතා පවසා සිටියේ තරගාවලියෙන් තරගාවලියට නවකයන් ආදේශ කිරීම සාමාන්‍ය දෙයක් බවයි. තමන් තේරීම් කමිටු සභාපතිව සිටියදී අයි.සී.සී. තරග තීරකවරයකු හැටියට කටයුතු කිරීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුදැනුම ඇතිව සිදුවන්නක් බව හෙතේම හෙළි කළේය. එහි කිසිදු නීතිවිරෝධි භාවයක් නොමැති බවද ලැබ්රෝයි මහතා පැවැසීය.

එංගලන්තය සමග ක්‍රීඩා කරන ශ්‍රී ලංකා එක්දින සංචිතය මෙසේය. දිනේෂ් චන්දිමාල් (නායක), උපුල් තරංග, සධීර සමරවික්‍රම, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, දසුන් ශානක, තිසර පෙරේරා, අකිල ධනංජය, දුෂ්මන්ත චමීර, ලසිත් මාලිංග, අමිල අපෝන්සු, ලක්ෂාන් සඳකැන්, නුවන් ප්‍රදීප්, කසුන් රජිත, කුසල් ජනිත් පෙරේරා

අතිරේක – ශෙහාන් මධුසංක, කුසල් මෙන්ඩිස්, දිමුත් කරුණාරත්න, සුරංග ලක්මාල්, ජෙෆ්රි වැන්ඩසේ

එංගලන්තය සමග ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය මෙසේය. දිනේෂ් චන්දිමාල් (නායක), දිමුත් කරුණාරත්න, කෞෂාල් සිල්වා, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, රොෂේන් සිල්වා, ඩිල්රුවන් පෙරේරා, රංගන හේරත්, මලින්ද පුෂ්පකුමාර, අකිල ධනංජය, සුරංග ලක්මාල්, ලක්ෂාන් සඳකැන්, නිරෝෂන් දික්වැල්ල, ලහිරු කුමාර (යෝග්‍යතා පරීක්ෂණය මත)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *