දේශයේ හරිතාවරණය ශක්තිමත් කිරීමට දීප ව්‍යාප්ත වැඩපිළිවෙලක්

(කොළඹ, ලංකාපුවත්) – දැව වගාවෙන් ගෘහ ආර්ථිකය ශක්තිමත් කරමින් දේශයෙහි හරිතාවරණය සඳහා පෙළ ගැසෙමු යන්න තේමා කර ගනිමින් මහවැලි සන්වර්ධන හා පරිසර අමාත්‍ය, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් අනුව පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතාගේ මෙහෙයවීමෙන් සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දායකත්වයෙන් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කෙරෙන දැව වගාවෙන් ගෘහ ආර්ථිකය ශක්තිමත් කිරීමේ පළමු අදියර පසුගියදා ආරම්භ කෙරුණි.

මීට සමගාමීව ගම්පහ දිස්ත්‍රික්කයේ, ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අනියුක්ත ආර්ථික සංවර්ධන නිලධාරීන් අසූ දෙනෙකු සඳහා ඊට අවශ්‍ය දැනුම ලබා දීමේ නේවාසික පුහුණු වැඩමුළු දෙකක් අදියර දෙකක් යටතේ ගාල්ල,කන්නෙලිය වන රක්ෂිත නිවාඩු නිකේතනයේදී පැවැත් වුණි.

මෙහි දෙවන අදියර යටතේ ආර්ථික සංවර්ධන නිලධාරීන් හතළිස් දෙනෙකු සඳහා වූ පුහුණු වැඩමුළුව පසුගිය 28වනදා කන්නෙලිය වන රක්ෂිත නිවාඩු නිකේතනයේදී පැවැත් වුණේ අජිත් මාන්නප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙහිදී ගෙවතු වගාව,වන වගාව,වන වගාවෙන් ගෘහ ආර්ථිකය ශක්තිමත් කිරීම,මෙරට වන ගහණය ප්‍රතිශතාත්මකව වැඩි කිරීම ඇතුළු වන සංරක්ෂණයට අදාළ විෂයයන් පිළිබඳ එම ආර්ථික සංවර්ධන නිලධාරීන් දැනුම්වත් කෙරුණි.

මේ අතර එම නිලධාරීන් හට කන්නෙලිය වන රක්ෂිතයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමටද අවස්ථාව සළසා දෙනු ලැබීය.

මෙම ව්‍යාපෘතිය දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට අදාළව ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ග්‍රාමීය මට්ටමින් ජනතාව දැනුම්වත් කිරීම සඳහා එම නිලධාරීන්ට අවශ්‍ය දැනුම ලබා දීම මෙහි මූලික අරමුණයි. ඉදිරියේදී දැව වගාවෙන් ගෘහ ආර්ථිකය ශක්තිමත් කරමින් දේශයෙහි හරිතාවරණය සඳහා පෙළ ගැසෙමු යන්න තේමා කර ගත් මෙම ව්‍යාපෘතිය දිස්ත්‍රික් මට්ටමින් කිරියාවට නැංවීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *