රටේ දරු පරපුර රැක ගැනීම සියලුදෙනාගේ වගකීමක් – ජනපති

(කොළඹ, ලංකාපුවත්) –ලෝක ළමා දිනයේ දී ළමා අයිතිවාසිකම් සහ වරප‍්‍රසාද පිළිබඳව මෙන්ම ළමයින්ට සමාජයෙන් එල්ලවී තිබෙන අභියෝග පිළිබඳව ද වගකිව යුතු සියලු පාර්ශ්වයන්ගේ දැඩි අවධානය යොමුවිය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ ගාල්ල බලපිටිය රේවත ජාතික පාසලේ 2018 වාර්ෂික ත්‍යාග ප‍්‍රදානෝත්සවයට අද (01) පෙරවරුවේ එක් වෙමිනි. විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා එම සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගනු ලැබීය.

“ළඟම පාසල හොඳම පාසල” වැඩසටහන යටතේ විද්‍යාලයේ ඉදිකළ තාක්ෂණ විද්‍යාගාරය සිසු අයිතියට පැවරුනේ ද ජනාධිපතිතුමා අතිනි.

එමෙන්ම ද්විතීයක කනිෂ්ඨ විද්‍යාගාර ගොඩනැගිල්ල ද ජනාධිපතිතුමා විසින් සිසු අයිතියට පවරාදෙනු ලැබීය.

අනතුරුව පැවති ත්‍යාග ප‍්‍රදානෝත්සවයේ දී විශිෂ්ටතා දැක්වූ සිසුන්ට සම්මාන සහ තිළිණ පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ අද දරුවා හෙට රටේ වගකීම් භාරගන්නා පුරවැසියන් බවට පත්වන බැවින් නැණවත් මෙන්ම ගුණවත් දරුවෙකු නිර්මාණය කිරීමට කැපවීම සියලුදෙනාගේ වගකීම බවයි.

දරුවන් පිළිබඳ කටයුතු කිරීමට රජයේ වගකිවයුතු ආයතන රැසක් ස්ථාපිත කර තිබෙන අතර ව්‍යාපෘති ගණනාවක් ද දියත් කර තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිතුමා එම සියලු කටයුතුවල ප‍්‍රතිලාභ ලැබිය යුත්තේ දරුවන්ටම බව ද ප‍්‍රකාශ කළේය.

එමෙන්ම දැනුමෙන් සහ ගුණයෙන් පිරිපුන් දරු පිරිසක් බිහිකිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළේ දී විදුහල්පතිවරුන්, ගුරුවරුන් මෙන්ම අදාළ සියලු පාර්ශ්වයන් සිදුකරන කැපවීම ද මෙහිදී ජනාධිපතිතුමාගේ ඇගැයීමට ලක්විය.

පාසල් අධ්‍යාපනය සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය වෙනුවෙන් කිසිදු රජයක් වෙන් නොකළ විශාල මුදලක් වත්මන් රජය ලබාදී තිබෙන බව මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා රටේ දරුවන් වෙනුවෙන් කරන ආයෝජන රට සහ ජාතිය වෙනුවෙන් කරන ආයෝජනයක් බව ද කියා සිටියේය.

රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ, නිශාන්ත මුතුහෙට්ටිගම, දකුණු පළාත් ප‍්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා, බලපිටිය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක හා ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සම සභාපති දයාරත්න ද සිල්වා යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයින් ද, විදුහල්පති ඩී. සිරිනන්ද මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය, දෙමව්පියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *