වැඩිහිටියන්ගේ අත්දැකීම් පලදායී ලෙස රට නංවන්න යොදාගන්නා මං සොයමු

(කොළඹ, ලංකාපුවත්) –ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ අත්දැකීම් සමුදාය පලදායී ලෙස රටේ නිෂ්පාදත ක්‍රියාවලියට දායක කරගතහැකි මංපෙත් සොයමු, යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.

ජාත්‍යන්තර වැඩිහිටි දිනට සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා එසේ කියා සිටියි. ජනාධිපතිවරයාගේ සුබපැතුම් පණිවුඩයේ මෙසේද සඳහන් වේ. දැනුමෙන් ද අත්දැකීමෙන් ද ඒ සියල්ල පිරිසිඳ රැස් කොටගත් ජීවිතාවබෝධයෙන් ද යුතු ව ලෝකය දකින්නට ඇති හැකියාව වැඩිහිටි වියේ වරප්‍රසාදයකි. පෙරදිග දර්ශනයන්ට අනුව වැඩිහිටි විය ජීවිතයේ දාර්ශනික අවධියයි.

එසේම ලොව බිහි වී ඇති බො‍හෝ දාර්ශනිකයන්, විද්‍යාඥයන් තම විශිෂ්ටතම එළැඹුම් සටහන්කර ඇත්තේ වැඩිහිටි වියේ දී ය. තව ද මිනිසුන් ලෙස අද අප භුක්ති විඳින අයිතිවාසිකම් බොහොමයක් අප වෙත දිනා දුන් සටන්කරුවන් වනුයේ මෙදා අපගේ වැඩිහිටියන් බව අප ගෞරවයෙන් යුතුව සිහිපත් කළ යුතුය. එම අභිමානවත් පුරවැසි සමූහයාට හිමි නිසි ගෞරවය පිරිනැමීම වෙනුවෙන් වාර්ෂිකව සැමරෙන ජාත්‍යන්තර වැඩිහිටි දිනයේ දී “මානව අයිතීන් දිනා දුන් ජ්‍යෙෂ්ඨ පුරවැසි විශිෂ්ටයින් අභිමානයෙන් සමරමු” යන්න මෙවර තේමාව ලෙස තෝරා ගනු ලැබූවේ එම මඟහැරුණු කථිකාව යළි වේදිකාවට කැඳවීමට බව මගේ විශ්වාසයයි.

ලෝක ජනගහනයේ වැඩි වන වැඩිහිටි ජන අනුපාතය මානව ප්‍රගමනය සඳහා යොදා ගත හැකි නව මං සෙවීමටත්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ අත්දැකීම් සමුදාය පලදායී ලෙස නිෂ්පාදන ක්‍රියාවලියට දායක කර ගත හැකි මං සෙවීමටත් තැනෙන එකී වේදිකාව, තරුණ වැඩිහිටි ජන සමූහයා අතර උණුසුම් සබැඳියාවක් නිර්මාණය කිරීමට ද සමත් වනු ඇති බව මගේ විශ්වාසයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *