සෙංගල්ඔය ගොවි ජනතාවගෙන් දේව කන්නලව්වක්

(කොළඹ, ලංකාපුවත්) – පුත්තලම සෙංගල්ඔය ගොවිජනපද ව්‍යාපාරයේ ගොවි ජනතාව පසුගියදා දේව කන්නලව්වක් සංවිධාන කර තිබිණ. සෙංගල්ඔය වාරි ව්‍යාපෘතියේ වැඩ කටයුතු නිසි පරිදි හා බාධාවකින් තොරව සිදු කර ගැනීමට මෙවරවත් අවස්ථාව සලසා දෙන්නැයි ඉල්ලා සිටීම මෙම කන්නලව්වේ අරමුණයි.

සෙංගල්ඔය වාරි ව්‍යාපෘතියට අවස්ථා ගණනකදී මුල්ගල් තැබූවද ඒ කිසිදු අවස්ථාවකින් ගොවි ජනතාවගේ අපේක්‍ෂා ඉටු නොවිණ. 1966 වසරේ ආරච්චිකට්ටුව මයියාව විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩසිටි අතිපූජ්‍ය සද්ධාතිස්ස මහනාහිමියන්ගේ වීර්යෙන් ඉදි කෙරුණූ මෙම ව්‍යාපෘතිය නැවතත් බල සම්බන්න ගොවි ව්‍යාපාරයක් බවට පත් කිරීමට කිසිදු රජයකට නොහැකි විය. මේ තත්ත්වය තුළ කුඹුරු ඉඩම් පමණක් අක්කර 20000 ක් පමණ වගා කළ නොහැකි තත්ත්වයට පත්ව ඇත. නිසි ලෙස ජලය සපයා ගත නොහැකිව අසරණව සිටින ගොවි පවුල් ගණන 3000 ඉක්මවයි.

දැදුරුඔය හරස් කොට නිර්මාණය කර ඇති සෙංගල්ඔය වාරි ව්‍යාපෘතිය වැව් 16 ට ජලය සපයන අතිශය වැදගත් ව්‍යාපෘතියකි. ආරච්චිකට්ටුව හරහා ගලා බසින මෙම වාරි ඇල කිලෝමීටර් 16 ක් දක්වා ජලය ගෙන යනු ලබයි. කෙසේ වෙතත් වර්තමානයේ මුල්ගල් තැබීම්වලට සීමා නොවී එම ව්‍යාපෘතියේ ඉදිකිරීම් සිදුවෙමින් තිබේ. වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ මැදිහත්වීමෙන් එම ව්‍යාපෘතියේ ඉදිකිරීම් ආරම්භ වන්නේ වසර 50 ට පසුවයි.
මේ වන විට බලාපොරොත්තු සුන් වී සිටි ගොවි ජනතාව නැවතත් කෘෂිකර්මාන්තය පිළීබඳ බලාපොරොත්තු දල්වා ගෙන සිටිති. මෙම ව්‍යාපාරය තුළින් සමස්ත ආණමඩුවටම බත සැපයිය හැකි බව සෙංගල්ඔය ගොවි ව්‍යාපාරයේ ගොවි නායකයින් පවසති.

දැනට කි‍්‍රයාත්මක වෙමින් තිබෙන ව්‍යාපෘතිය සඳහා වැය කරන මුදල රුපියල් ලක්‍ෂ 3500 කි. එම ව්‍යාපෘතිය කිසිදු අතුරු අන්තරාවක් ඇති නොවේවායි ප‍්‍රාර්ථනා කරමින් හා වැසි සමයට පෙර එහි වැඩකටයුතු අවසන් කිරීමට ආශීර්වාදය ඉල්ලා දේව කන්නලව්වක් පැවැත්වීමට ගොවිජනපද නියෝජිතයින් පියවර ගෙන තිබුණේ එහි වටිනාකම ඉහළ මට්ටමක පවතින නිසාවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *