ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථාන 500 ක්

(කොළඹ, ලංකාපුවත්) –අධ්‍යාපනය සහ ක්‍රීඩාව නගා සිටුවීමට පියවර ගත් වත්මන් ආණ්ඩුව ඉදිරි වසර 03 තුල අංග සම්පූර්ණ, ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා පහසුකම්වලින් සමන්විත පුහුණු මධ්‍යස්ථාන 500ක් ඉදි කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මෙවැනි පහසුකම් සලසාදීම තුලින් පාසලේ සිට ජාත්‍යන්තරය දක්වා ක්‍රිඩාවෙන් රන්, රිදී පදක්කම් දිනා ගැනීමේ මාර්ගය සලසා දෙන බව වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

ඊයේ(01) සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගනයේදී ආරම්භ වුණු 34 වන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරඟාවලියේ සමාරම්භක උළෙලට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

එහිදී අදහස් දැක්වී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා – “ රටේ දරුවන්ගේ විවිධ දක්ෂතා හඳුනාගැනීම අධ්‍යාපන අංශයේ යුතුකමක් බවත්, තමන්ගේ මූලිකත්වයෙන් මීට වසර 34 ට පෙර සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල ආරම්භ‍ වුයේ එම අරමුණ ඇතිවයි. එහිදී තව දුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා – පාසල් තුල අධ්‍යාපනය ලබන දරුවන් කාර්මික, අධ්‍යාපන, ක්‍රීඩා නායකත්ව, තාක්ෂණික ආදී විවිධ ක්ෂේත්‍රවල දක්ෂතා දක්වනවා. එම දක්ෂතා වෙනුවෙන් අනාගතයක් නිර්මාණය කර දීම අපේ අරමුණයි.

වර්තමානයේ ශ්‍රි ලංකාවේ පාසල් ක්‍රිඩක ක්‍රිඩිකාවන් ආසියානු, අන්තර්ජාතික මට්ටමේ ක්‍රීඩා තරඟාවලි සඳහා සුදුසුකම් ලබනවා. එම තරඟාවලි සඳහා සහභාගිවීමෙන් පමණක් සෑහිමකට පත් නොවී ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩක ක්‍රිඩිකාවන්ට අභියෝග කළ හැකි ශ්‍රි ලාංකික ක්‍රීඩකයන් අප පුහුණු කළ යුතුයි.

මේ වන විට ශ්‍රි ලංකාවේ ක්‍රිඩා ක්ෂේත්‍රෙය් අභිවෘද්ධිය වෙනුවෙන් ජාතික ඔලිම්පික් කමිටුව හා එක්ව අග්‍රාමාත්‍ය ක්‍රිඩා අරමුදල පිහිටුවීමටත් අපි කටයුතු කර තිබෙනවා. ඒ හරහා ක්‍රිඩක ක්‍රීඩිකාවන්ට අතහිතදීම අපේ අරමුණයි.“

මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් සහ පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගි වී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *