දිවයිනේ සෑම පාසලකටම පලතුරු උද්‍යානයක්

(කොළඹ, ලංකාපුවත්) –දිවයිනේ සෑම පාසලකම දුර්ලභ පලතුරු ඇතුළත් උද්‍යානයක් බැගින් ස්ථාපිත කිරීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

ලෝක ළමා දිනය නිමිත්තෙන් විශේෂ සමරු වැඩසටහනක් ඊයේ(01) කොළඹ මරදාන අසෝක විද්‍යාලයේදී පැවැත්විණි.

බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සංවිධානය කර තිබූ මෙම සමරු උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහභාගී විය. බස්නාහිර පළාත්, අධ්‍යාපන අමාත්‍ය රංජිත් සෝමවංශ, බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් විජයබන්දු, අසෝක විද්‍යාලයේ විදුහල්පති ගුණරත්න දිසානායක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

ශ්‍රී ලංකාවේ සෑම පාසලකටම මෙන්ම විහාරස්ථාන සහ වෙනත් ආගමික ස්ථාන පරිශ්‍රයන් ආශ්‍රිතව පලතුරු උද්‍යාන පිහිටුවීමේ වැඩපිළිවෙල මෙම මාසය තුළ ආරම්භ කෙරෙන අතර, එහි ප්‍රථම ජාතික වැඩසටහන අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම මාසය තුළ පැවැත්වීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම අවස්ථාවට සහභාගී වෙමින් ප්‍රකාශ කළේය.

වැඩිදුරටඅත් අදහස් පළ කළ අමාත්‍යවරයා-

“අපේ දරුවෝ බොහෝ දෙනෙක් වර්තමානයේ අපේ රටට ආවේණික පලතුරු පිළිබඳව නිසි අවබෝධයක් නැහැ. කරඹ, එරමිණියා, හිඹුටු, වීර, පළු, කළුකැටබේරිය, කෝන්, වැනි ගුණාත්මක බැවින් පිරුණු පලතුරු රැසක් අපේ පරිසරයේ ඉබේ හැදුණත් වර්තමානයේ දරුවෝ ඒවා ගැන නිසි අවබෝධයක් නැහැ.අපේ දරුවන් වගේම වැඩිහිටියොත් පුරුදු වී සිටින්නේ පිටරටින් මෙරටට ගෙන එන මිදි,දොඩම් සහ ඇපල් වැනි පලතුරු අනුභව කිරීමටයි. අපිට පහසුවෙන් අපේ රටේම වගාකර ගත හැකි ගුණයෙන් සපිරි පලතුරු වර්ග ගණනාවක් අපේ සංස්කෘතිය තුළ තිබෙනවා. නමුත් එම පලතුරු වගා කිරීමට හෝ ව්‍යාප්ත කරලීමට මෙතෙක් පැවති කිසිදු රජයක් විධිමත් පියවර නොගත් නිසා, අද ඒවා අපෙන් ඈත්වෙමින් තිබෙනවා. එම නිසා නැවතත් අපිට ආවේණික පලතුරු විශේෂ යළිත් ව්‍යාප්ත කිරීමේ වැඩසටහනක් අපි ආරම්භ කරනවා.”

“වවුලන් කා දැමු කොස් මදුළුවලින් බිම වැටෙන ඇට පැළවෙන රටේ, අහකදාන දණ්ඩක් වුණත් දළු දාලා පැළවෙන මේ රටේ අද අපිට පරිභෝජනයට අවශ්‍ය දේවල් පිටරටින් ගෙන්වන්න පුරුදු වෙලා. ඒකේ ප්‍රතිඵලය තමයි. රුපියල බාල්දු වී ඩොලරය ඉහළ යාම. ඒකට මේ කාටවත් දොස් කියලා ඵලක් නෑ.අපිට අවශ්‍ය දේ අපිම නිපදවා නොගතහොත් මේ තත්ත්වය තවත් බැරෑරුම් වෙන්න පුළුවන්.

අද ජාත්‍යන්තර ළමා දිනය මෙන්ම වැඩිහිටි දිනය ද සමරණ දවසයි. අපේ රටට අවශ්‍ය දේවල් අපිම නිපදවා ගන්නා ජාතියක් බවට පත්වීමට නම්, මේ රටේ පාසල් පද්ධතිය තුළ සිටින ලක්ෂ 42ක් පමණ වන සිසු දරුවන් දේශීය නිෂ්පාදන ඉහළ නැංවීම පිළිබඳ හොඳින් දැනුම්වත් කළ යුතුයි. ඒ නිසා අපේ පාසල් දරුවන් තුළින් වෛද්‍යවරු, ඉංජිනේරුවරු, තොරතුරු තාක්ෂණය පිළිබඳ විශේෂඥවරු මෙන්ම හොඳ කෘෂි ව්‍යවසායකයින් පිරිසක් බිහිවනු දැකීම අපේ අරමුණයි. ඒ වගේම මේ අතර හොඳ ගොවි පිරිසකුත් බිහිකර ගත යුතුයි. එම නිසා ජාත්‍යන්තර ළමා දිනයේ දී මේ සම්බන්ධව අපේ ගුරුවරු මෙන්ම මවිපියෝද දැඩි ලෙස අවධානය යොමු කරනු ඇතැයි මම අපේක්ෂා කරනවා.” යැයිද අමාත්‍යවරයා පැවසීය.

අසෝක විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකළ ශ්‍රවනාගාරයද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතින් විවෘත විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *