රුපියල රකින ක්‍රියා මාර්ග සතියකින් සකසන්න – අගමැති

(කොළඹ, ලංකාපුවත්) –ගෝලිය ආර්ථිකයට ඝෘජුව බලපාන අමෙරිකා ආර්ථික ප්‍රතිපත්ති හමුවේ ඇතිවන අර්බුදයේ දී රුපියලේ අගය ආරක්ෂා කර ගැනීමට ගතයුතු ක්‍රියා මාර්ග ඉදිරි සතියේ දී සකස් කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශවෙත උපදෙස් දී‍ තිබේ.

අමෙරිකා එක්සත් ජනපදය ඉරානයට එරෙහිව සම්බාධක පැනවීම සහ චීනය සමඟ කරන වෙළෙඳ ගනු දෙනුවල දී අධික බදු ක්‍රියාත්මක කිරීම නිසා ඇති වන තත්ත්වයන්ට කල්තියා මුහුණ දීමට අවශ්‍ය සියලු ක්‍රියා මාර්ග ගන්නා ලෙසද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (01) උපදෙස් දුන්නේය.

අගමැති වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව මුදල් අමාත්‍යාංශය, උපාය මාර්ග සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශය, කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය සහ ශ්‍රි ලංකා මහ බැංකුවේ මූලිකත්වයෙන් ඉදිරියේ දී ක්‍රමෝපායන් සැලසුම් කිරීමට නියමිතය. අමෙරිකාව ඉරානයට එරෙහිව පැනවූ සම්බාධක නොවැම්බරයේ සිට ක්‍රියාත්මකවීම ඇරඹීමත් සමඟම ශ්‍රී ලංකා තේ ඉරානය වෙත අපනයනය කිරීමට නොහැකි වනු ඇතැයි ද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. ඊට අමතරව චීනයට එරෙහිව අමෙරිකාව පනවා තිබෙන තීරු බදු හේතුවෙන් ඉදිරියේ දී චීන රජය ණය ආධාර හෝ ප්‍රදානයන් සඳහා නොයනු ඇතැයි ද ආර්ථික විශේෂඥයෝ රජයට උපදෙස් දී තිබේ.

අදාළ අංශ සකස් කරන ක්‍රමෝපායන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නෝර්වේ සංචාරයෙන් පසු ක්‍රියාවට නංවනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *