පාරම්පරික වී, උඳු වගා කිරීමට කෘෂි ඇමතිගෙන් උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) –2018 මහ කන්නයේ දී අක්කර 16,000ක උඳු වගාව ආරම්භ කිරීමට හා අක්කර 550ක් පාරම්පරික වී වගා කිරීම සඳහා කටයුතු කරන්නැයි, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරිට උපදෙස් දී තිබේ.

ඒ අනුව වව්නියාව හා කිළිනොච්චි දිස්ත්‍රික්කවල අක්කර 16,000ක් උඳු වගා කිරීම සඳහා වෙන් කර ඇති අතර වව්නියාව දිස්ත්‍රික්කයේ පුරන් කුඹුරු අක්කර 550ක අපේ රටේ පැරණි එමෙන්ම පෝෂණයෙන් ඉහළ මට්ටමක ඇති වී වර්ග වගා කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය , ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව හා කෘසිකර්ම දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන ඇත.

එම කටයුතු ලබන සිකුරාදා (05) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් වව්නියාවේ නගර සභා ශාලාවේ දී සිදු කෙරේ.

එමෙන්ම යාපනය ප්‍රදේශය රටකජු , මිරිස් හා අඹ වගා කිරීමේ කළාප දෙකක් ස්ථාපිත කිරීමට ද තීරණය කර ඇති අතර එම කටයුතු ගනේෂපුරම් ප්‍රදේශයෙන් ලබන 06 දින ආරම්භ කෙරෙනු ඇත.

දැනට අපේ රටේ රටකජු හා උඳු වගා කළ ද රටේ සමස්ත අවශ්‍යතාවයට ප්‍රමාණවත් නොවන බැවින් දැනට ඉන්දියාවේ සිට රටකජු හා උඳු මෙරටට ආනයනය කරනු ලබයි. 2017 වසර තුළ මෙරටට රටකජු ආනයනය කිරීම සඳහා රජය විසින් වැය කර ඇති මුදල රු. මි. 689කි.

අපේ රටේ වගා කරන ලද පාරම්පරික වී වර්ග රැසක් තිබෙන අතර මේ වනවිට ඒවා අභාවයට යමින් පවතී. විශේෂයෙන් මුතු සම්බා, මානික්කම් සම්බා, කුරුළු තුඩ, සුවඳැල්, කළු හීනටි, මා වී, පච්චපෙරුමාල්, රත්දැල්, මඩතවාලු, හැට දා වී වැනි පෝෂණ ගුණයෙන් පොහොසත් වී වර්ග රැසක් ඒ අතර වේ. මෙම වී වර්ගවලින් සකස් කරන ලද සහල් සඳහා මේ වනවිට වෙළෙඳ පොළේ ඉහළ ඉල්ලුමක් පවතී. එමනිසා වව්නියාවේ පුරන් කුඹුරු අක්කර 550ක එම සාම්ප්‍රධායික වී වර්ග මෙවර මහා කන්නයේ දී වගා කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *