සංවර්ධන ව්‍යාපෘති සඳහා ප‍්‍රතිපත්තියක් සැකසිය යුතුයි

(කොළඹ, ලංකාපුවත්) – සංවර්ධන ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීමට අදාලව විද්‍යානුකූල වැඩපිළීවෙලක් හදුන්වා දීමට කාලය පැමිණ තිබෙන බව බව වාරිමාර්ග, ජලකළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ එම වැඩපිළිවෙල ජාතික ප‍්‍රතිපත්තියක් ලෙස හෝ ඊට සමාන ආකාරයේ වැඩපිළිවෙලක් ලෙස හදුන්වා දිය යුතු බවයි. එමෙන්ම කාලෙන් කාලෙට හෝ නව රජයක් බලයට පත්වන අවස්ථාවක දී හෝ වෙනස් නොවන ක‍්‍රමවේදයක් අත්‍යාවශ්‍ය බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

සැලසුමකින් තොර සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් නිරන්තරයෙන් ආපදා ආධාර බෙදා දෙමින් සිටීමට සිදුව ඇති බවද අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. දිවයින පුරා ඉදිකර ඇති අක‍්‍රමවත් ඉදිකිරීම් හේතුවෙන් ඉතා සුළු වර්ෂාවකදී වුවද විශාල විනාශයන් සිදුවන තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත්, මෙම තත්ත්වයට පළාත් පාලන ආයතන වැඩි වශයෙන් වගකිව යුතු බවත් අමාත්‍යවරයා පවසයි. එබැවින් මධ්‍යම රජයට, පළාත් සභා හා ප‍්‍රාදේශීය සභාවලට පමණක් නොව, බිම් මට්ටමේ සමිති සමාගම් විසින් සිදුකරන ඉදිකිරීම් පවා විද්‍යානුකූලව සිදුවිය යුතු පසුබිමක් සැකසිය යුතුම බවද ඔහු අවධාරණය කර සිටියේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ආණමඩුව සුදම්පාය රංග ශාලාවේ දී ඊයේ (08) පැවැති සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ ප‍්‍රගති සමාලෝචන රැස්වීමකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.
ස්වභාදහමට අභියෝග කරන්න කාටවත් බෑ. එහෙත් ආපදා අවම කරගන්න පුළුවන්. ඒ සඳහා පැහැදිලි දැක්මකින් යුතු වැඩපිළිවෙලක් ශී‍්‍ර ලංකාවේ කි‍්‍රයාත්මක වී නැහැ. මේ දිනවන අකුරණ, ගාල්ල වැනි නගර ජලයෙන් යටවෙලා. පාරවල්වල යන්න බෑ වගේම නිවාස සිය ගණනකට බලපෑම් එල්ල වෙලා. මෙවැනි තත්ත්වයක් ඇති වුනේ ඇයි කියන කාරණය ගැන කිසිවෙක් අවදානය යොමු කරන්නේ නෑ.

ගංගා, ජලාශ වැනි ස්ථානවල අනවසර හා අවසර සහිතව විවිධ ඉදිකිරීම් සිදු කර තිබෙනවා. මේවාට අවසර දෙන්නේ පළාත් පාලන ආයතන විසින්. එම ආයතනවල වගකීම් විරහිත කි‍්‍රයාකලාපය මෙම තත්ත්වයට හේතුවෙලා. වැසි ජලය ගලා යාම අවහිර වෙලා. මේ නිසා ගංගාවල වැලි නිධි ස්ථානගත වෙලා තියෙනවා. ඒ වගේම ගංගාවලට ජලය බැස යන ස්ථාන විවිධ ඉදිකිරීම් හේතුවෙන් අවහිර වෙලා. මේ තත්ත්වය තුළයි ජල ගැලීම් ඇති වන්නේ. අවසන් ප‍්‍රතිපලය රටේ මුදල් ආධාර වශයෙන් ලබා දීම. එය සංවර්ධන වැඩපිළිවෙලට බාධාවක් ලෙස හදුනා ගත යුතුයි. ආපදා හානි වෙනුවෙන් වන්දි ලබා දෙන්න අති විශාල මුදලක් වැය කරන්න සිදු වෙලා තියෙනවා. ඒ අතරින් සියයට අනූවක් විතර අපි වැය කරන්නේ මේ අනවසර ඉදිකිරීම් හේතුවෙන් සිදුවන ආපදා හානි වෙනුවෙන්. සැලසුමකින් තොරව සිදුවන සංවර්ධනයෙන් රටට ලැබෙන්නේ විනාශයක් පමණයි.
පක්‍ෂ පාට වැදගත් නෑ. කවුරු විසින් පාලනය කළත් අනවසර ඉදිකිරීම් හෝ අවසර සහිතව ගංගා මිටියාවත්වල හෝ ආපදා තත්ත්වයන්ට හේතුවන ඉදිකිරීම් සිදු කර ඇත්නම් ඒවා ඉවත් කරන්න ඕනෑ. ඒ වගකීම තියෙන්නේ පළාත් පාලන ආයතනවලටයි.
මේ ඉදිකිරීම් ඉවත් කරන්න පළාත් පාලන ආයතනවලට පූර්ණ බලය තියෙනවා. එහෙම තියෙද්දිත් මේ වගේ ඉදිකිරීම් තවදුරටත් සිදුවනවා වගේම, ඉදිකර ඇති ස්ථාන ඉවත් කරන්න පියවර ගන්නෙත් නෑ. කාගේ බලයකට මේ වගේ දේවල් සිදුවනවද කියල සොයා බැලිය යුතුයි. රටට විනාශයක් ගෙන දෙන ආකාරයේ ව්‍යාපෘති සිදු කරන්න ඉඩ දීමටනම් පළාත් පාලන ආයතන පවත්වාගෙන යාමෙන් පලක් නෑ.

ඒ වගේම නැවතත් වැසි සහිත කාලගුණයක් ඇති වෙමින් තිබෙනවා. මෙහිදී ඇතිවන අවදානම්වලින් ජනතාව ආරක්‍ෂා කිරීමට රජය බැදී සිටින බවත් කිව යුතුයි. ආණමඩුවට සුළං ජල ගැලීම් ඇති වෙනවිට කදුකරය නාය යනවා. එබැවින් මේ සෑම දේකටම මුහුණ දෙන්න වෙන්නේ රජයට. අපි ඒ වෙනුවෙන් මේ වන විටත් ආපදා කණ්ඩායම් සූදානම් කරල තියෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *