මෙලානියාගේ අලි බැලිල්ල

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකා ජනාධිපති ආර්යාව ලෙස අප්‍රිකා රටවල නිල සංචාරයක යෙදෙන මෙලානියා ට්‍රම්ප් කෙන්යාවේ නයිරෝබී නුවර පිහිටුවා ඇති අප්‍රිකා අලි අනාථාගාරය නැරැඹීමට පසුගියදා ගියාය.

48 හැවිරිදි මෙලානියා ආර්‍යාව, මව අහිමි අලි පැටවන් සුරතල් කළා පමණක් නොව, උන්ගේ සුවදුක් විමසා බලා, කිරි පෙවීමට අමතක නොකළා බව රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත.

මෙම අනාථාගාරයේ සිටින අලි පැටවුන් බොහොමයකගේ මවුවරුන් දළ ලබා ගැනීම වෙනුවෙන් මරා දමා ඇති බව, කෙන්යා වන ජීවී නිලධාරීහු ඇමෙරිකා ජනාධිපති ආර්යාවට පෙන්වා දුන්හ.

මෙම සද්දන්තයන් ආරක්ෂා කිරීම වෙනුවෙන් කෙන්යා රජය සහ වනජීවී දෙපාර්තමේන්තුව කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් මෙලානියා විමසා බැලීමක් ද කළාය.

වන ජීවී නිලධාරීන් සහ ආරක්ෂක අංශ සාමාජිකයන් පිරිවරාගෙන කෙන්යා ජාතික වනෝද්‍යානයේ සංචාරය කරමින් අප්‍රිකාවට ආවේණික සතුන් දැක බලා ගත්තාය.

ස්ලොවේනියාවේ උපත ලැබූ තැනැත්තියක වන ට්‍රම්ප් මහත්මිය, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ විවාහ වීමට පෙර මෝස්තර නිරූපිකාවක ලෙස රැකියාව කර ඇත.

අමෙරිකා රජයේ ආධාර මත පවත්වාගෙන යන ‘ද නෙස්ට්’ යනුවෙන් හැඳින්වෙන පාසලේත්, ළමා නිවාසයේත් සංචාරයකට මෙලානියා එක් වූවාය. එහිදී ජනාධිපති ආර්යා මෙලානියා තමන් වටකර ගත් පාසල් දරුදැරියන් සමඟ ගී ගයමින් නර්තනයක ද යෙදුණාය.

මෙලානියා කෙන්යාවට පැමිණියේ මලාවි රාජ්‍යයේ සංචාරය කිරීමෙන් පසුවය. කෙන්යාවට පැමිණි මෙලානියා පිළිගනු ලැබුවේ කෙන්යා ජනාධිපති ආර්යාව මාගරට් කෙන්යාටා විසිනි.

මෙලානියා මෙම අප්‍රිකා රටවල නිල සංචාරයට එක් වී සිටින්නේ තනිවමය. ඇමෙරිකානු ජනාධිපති ආර්‍යාව තනිවම විදෙස් සංචාරයක යෙදෙන පළමු අවස්ථාව මෙයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *