ත්‍රිකුණාමල තෙල් ටැංකි විකුණන්න ඉඩ දෙන්නේ නැහැ

(කොළඹ, ලංකාපුවත්) – රටට අවාසි වන සේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය කිසිම විටක ඉන්දීය ඔයිල් සමාගමට පවරා නොදෙන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

ඔහු මේ බව අද (12) කියා සිටියේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ දේශපාලන පලිගැනීම්වලට ලක් වූවන්ට සහන සැලසීමේ උත්සවයට එක් වෙමිනි. රට පාවාදීම තම ප්‍රතිපත්තිය නොවේ. රටට හානිවන කිසිම දෙයක් කිසිම විටක සිදු කරන්නේ නැත. ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය රටට වාසි සහගත වන සේ සංවර්ධනය කිරීම තමන්ගේ අරමුණයි. එසේ තිබියදීත් ඇතැම් අය තමන්ට මඩ ගසමින් සිටින බවද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙහිදී පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අර්ජුන රණතුංග මහතා මෙසේද පැවසීය.

“අපි සැමවිටම උත්සාහ ගන්නේ අපෙන් වරදක් වෙලා තියෙනවා නම් ඒ වරද නිවැරදි කර ගන්න. පසුගිය වසරේ අපි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉතාමත් හොඳින් පාලනය කළා. මෙහි වෙනස්කම් සිදු කළා. හොරකම් අඩු කළා. දැන් හොකරම් කරන්න වැරදි දෙයක් කරන්න හැමෝම බයයි. ඔබ සියලු දෙනාම දන්නවා අපි පැමිණීමට පෙර බවුසර්වල ඉන්ධන කවලම් කළා. ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන කලවම් කළා. අද දැන් ඒ සියලු අක්‍රමිකතා බොහෝ දුරට නතර කර තිබෙනවා. නමුත් මට මඩ ගහනවා. මම දැක්කා, පසුගිය දවසක මාධ්‍ය සාකච්ඡාවක් තියලා බිමල් රත්නායක මන්ත්‍රීතුමා මට දෝෂාරෝපණයක් කළා, ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය මම ඉන්දියාවට විකුණනවා කියලා.

ත්‍රිකුණාමලයේ තෙල්ටැංකි සියල්ලම ගිවිසුමක් ගහලා ඉන්දියානු ඔයිල් සමාගමට ලබා දුන්නේ 2003 වර්ෂයේදී. එතැන් සිට අද වෙනතුරුම ඒ තෙල් ටැංකි සංකීර්ණයේ කිසිම සංවර්ධන කටයුත්තක් වෙලා නැහැ. ඉන්දියානු ඔයිල් සමාගම තෙල් ටැංකි තමන්ගේ පරිහණයට ගෙන ලාභ ලබා ගන්නවා. 2003 වසරේදී ජනතා විමුක්ති පෙරමුණත් එක්ක අපි ආණ්ඩුවක් හැදුවා. එදා තෙල් ටැංකි ගිවිසුමේ වැරදි තිබුණා නම් එවකට ජනාධිපතිතුමිය ලෙස සිටි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියත් සමඟ එක්ව එම ගිවිසුම වෙනස් කර ගන්න ඔවුන්ට තිබුණා. ඇත්ත නම් අත්සන් කළ ගිවිසුමක් වෙනස් කරන්න අපහසුයි. ඒත් කැබිනට් මණ්ඩලය හරහා එම ගිවිසුම රටට වාසි ලෙස වෙනස් කර ගැනීමට මම කටයුතු කර තිබෙනවා. දැනට ඉන්දීය ඔයිල් සමාගම භාවිත කරන තෙල් ටැංකි ගණන 15ක්. ඉතිරි ටැංකි සංවර්ධනය කිරීමට ඉන්දීය ඔයිල් සමාගමත් අපේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවත් එක් වී පොදු ආයතනයක් පිහිටුවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය මේ වන විට ලැබී තිබෙනවා. එහිදී එලෙස සංවර්ධන කරන ටැංකිවලින් 16ක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවටම අයිති කර ගැනීමටත් කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. ඒ අනුව ඉතිරි ටැංකි 69 ඒකාබද්ධ ව්‍යාපාරයක් යටතේ පරිහරණය කෙරෙනවා.

ඇත්තටම මටත් මේ ටැංකි සංකීර්ණය ගැන නොලබා අහක බලා ගෙන ඉන්න තිබුණා. තව අවුරුදු දෙකයිනේ තියෙන්නේ ඔන්න ඕක ඔහෙ ඉන්දියන් ඔයිල් සමාගමට යන්න දීලා නිකම් බලාගෙන ඉන්න තිබුණා. නමුත් මම එහෙම කළේ නැහැ. මට මොන චෝදනාව ආවත් මම දන්නවා ‍මම මගේ රටට වරදක් කරන කෙනෙක් නෙමෙයි කියලා.

මට අද මොන විවේචන කළත් මම එක මතයක ඉන්නවා. මේ තෙල් ටැංකි සංවර්ධනය කල යුතුයි. ඒ විතරක් නෙමෙයි 2003 වසරේදී මේ ටැංකි සංකීර්ණය ඉන්දියාවට ලබා දීමට ගිවිසුම් අත්සන් කරන විට මේ රටේ දරුණු යුද්ධයක් තිබුණා. එවෙලේ ඉන්දියන් ඔයිල් සමාගමට මේ ටැංකි සංකීර්ණය දුන්නේ නැත්නම් සමහර විට ටැංකි ටික විතරක් නෙමේ ඔය ප්‍රදේශම බෝම්බවලින් විනාස වෙන්නත් තිබ්බා. නමුත් ඒවා ආරක්ෂා වුණා. මම කියන්නේ දේශපාලනඥයින්ට මේවා ගැන බලන්න හොඳ ඇසකින්. හැම වෙලේම කුහක වෙන්න එපා.

ඒ විතරක් නෙමේ ඛනිජ තෙල් සංස්ථාවේම වැඩකරන පළාත් සභාවේ ඉන්න කෙනෙක් දෝෂාරෝපණයක් කරලා තියෙනවා දැන් අපි හොරකම් කරනවා කියලා. අපි මෙතනට එන්න කලින් මෙහි තිබුණා විමර්ශන අංශයක්. නමුත් එතැන තරම් හොරකම් තියෙන තවත් තැනක් සංස්ථාවේ තිබුණේ නැහැ. විමර්ශනයකට එක කණ්ඩායමක් යනකොට අනිත් කණ්ඩායම කියනවා ඔන්න පනින්න එනවා කියලා. මේ දූෂිත තත්ත්වය නිසා විමර්ශන අංශය අපි නැවත හැදුවා. අද ටැංකිවල ඉන්ධන කවලම් කිරීම්, ෂෙඩ්වල ඉන්ධන කලවම් කිරීම් බොහෝම අඩුයි. ඉතිං දැන් අපිට බොරු චෝදනා නඟමින් කෑ ගහන්නේ මීට පෙර මේ අවස්ථාවලින් ලාභ ලබපු කට්ටිය වෙන්න ඇති. මට ඒක ගැන ප්‍රශ්නයක් නැහැ. මම දන්නවා මම කරන්නේ මොකක්ද කියන එක. මම දන්නවා මම මේ ආයතනය පරිස්සම් කරන්න මොන තරම් දුකක් විදිනවද කියන එක. අපේ අමාත්‍යාංශ ලේකම්තුමාම දන්නවා තවත් තුන්වැනි අංශයක් ගේන්න බාහිර පිරිස් කොච්චර දගලනවාද කියලා. තෙල් සංස්ථාව තව කාට හරි දෙන්න පුළුවන්නම් දෙන්න හදනවාද කියන එකත් අපි දන්නවා. මට වෙලා තියෙන්නේ මේවා එකක්ක හැප්පි හැප්පි ඉන්න. අද මම වගේම රට ගැන බලන ලේකම් කෙනෙක් මට හම්බ වෙලා තියෙනවා. අපි දෙන්නටම කොයි වෙලේ හරි ගෙදර යන්න සිද්ධ වෙනවා කියන එකත් මම හැම වෙලේම සිතනවා. ඒක අද වෙන්නත් පුළුවන්. හැබැයි මම මෙතැනින් යන්නේ ඔලුව කෙලින් තියාගෙන. එක එක්කනොට ඕන විදියට අපි මේවායේ වැඩ කරන්න දෙන්නේ නැහැ…”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *