රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ නව ඖෂධ කර්මාන්ත ශාලාව විවෘත වෙයි

(කොළඹ, ලංකාපුවත්) – රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ ඖෂධ නිෂ්පාදන ධාරිතාවය තවත් වැඩි කිරීමේ අරමුණින් ඉදිකරන ලද නව ඖෂධ කර්මාන්ත ශාලාව අද(12) විවෘත කෙරේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් නව කර්මාන්ත ශාලාව විවෘත කිරීමට නියමිතය. රත්මලාන කදවලවත්ත ප්‍රදේශයේ එය ඉදි කර ඇත.

මෙම කර්මාන්ත ශාලාව ඉදිකිරිම සදහා වැය කළ මුළු මුදල ජපන් යෙන් මිලියන 1240 කි. ජපානයේ “ජයිකා” ව්‍යාපෘතිය යටතේ ලැබුණු ආධාර මත මෙම කර්මාන්ත ශාලාව ඉදිකර ඇත. මුළු මුදලින් යන්ත්‍රෝපකරණ සදහා වැය කළ මුදල ජපන් යෙන් මිලියන 910 කි. ජර්මනිය, ජපානය, දකුණු කොරියාව සහ චීනය යන රටවලින් යන්ත්‍ර සූත්‍ර ආනයනය කර ඇත.

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ දැනට පවතින නිෂ්පාදන ධාරිතාව වසරකට පෙති හෝ කරල් මිලියන 1922 කි. මෙම ව්‍යාපෘතිය මගින් එය මිලියන 3337 ක් දක්වා වැඩි වෙයි. එමගින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ ඖෂධ අවශ්‍යතාවයෙන් සියයට 70 ක් පමණ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව සපයනු ලබයි.

මහාචාර්ය සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තියට අනුව ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙල සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ආරම්භ කර තිබේ. ඒ අනුව මෙම නව කර්මාන්ත ශාලාව ඉදිකිරිමට අමතරව දේශීය හා විදේශීය ඖෂධ නිෂ්පාදන සමාගම් 46 ක් සමග නව කර්මාන්ත ශාලා ඉදිකිරිමට ගිවිසුම් අත්සන් කර ඇත..

එම ගිවිසුම් වලට අනුව දැනට නව කර්මාන්ත ශාලා 03 ක් හොරණ, මහනුවර සහ දිගන ප්‍රදේශවල ඉදිකර ඇති අතර, එහි නිෂ්පාදන වෛද්‍ය සැපයුම් අංශයට ලැබෙයි. තවත් ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලා 03 ක් 2019 වසරේ මුල් භාගයේ දී විවෘත කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ වලින් සියයට 90 ක් වසර 2020 වන විට මෙරටදීම නිෂ්පාදනය කිරීම තම අරමුණ බව සෞඛ්‍ය, අමාත්‍යවරයා ප්‍රකාශ කරයි. මෙලෙස ඖෂධ නිෂ්පාදනය කිරීම තුලින් ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ ආනයනය කිරීම සදහා වාර්ෂිකව වැය කරන රුපියල් බිලියන 40 කට අධික මුදල ඉතිරි කර ගැනීමට හැකිවෙයි. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ වත්මන් සභාපතිවරයා වන්නේ වෛද්‍ය සයුර සමරසුන්දර මහතායි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *