වන සම්පත රැක ගැනීම ගැන ජනපති පවසයි

(කොළඹ, ලංකාපුවත්) – මෙරට වන ඝනත්වය ඉහළ නංවා ගනිමින් ජාතික සංවර්ධන ඉලක්ක කරා ගමන් කිරීමට වගකීමෙන් එහා ගිය යුතුකමක් සියලු රාජ්‍ය නිලධාරින් ඉටු කළ යුතු බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නව නිලධාරින්ට පත්වීම් ලිපි ප‍්‍රදානය සහ අඩවි වන කාර්යාල සඳහා ඵලදායිතා සම්මාන පිළිගැන්වීම වෙනුවෙන් අද (12) පෙරවරුවේ බත්තරමුල්ල, අපේගම පරිශ‍්‍රයේ පැවති උත්සවය අමතමිනි.

වන සම්පත රැක ගැනීම හා පරිසර සංරක්ෂණය වෙනුවෙන් එළැඹ ඇති අන්තර්ජාතික එකඟතාවයන් සහ ප‍්‍රඥප්තීන් ආරක්ෂා කිරීමට මෙන්ම ජාතික වශයෙන් ගෙන තිබෙන තීන්දු තීරණ නිසි ලෙස කි‍්‍රයාත්මක කිරීමට අදාළ සියලු රාජ්‍ය නිලධාරීන් කැපවීමෙන් කටයුතු කළයුතු බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේ ය.

පරිසරය රැක ගැනීමට මෙන්ම වන ඝනත්වය ඉහළ නංවා ගැනීමට රජය කි‍්‍රයාත්මක කර තිබෙන වැඩපිළිවෙළ නිසි ඉලක්ක කරා මෙහෙයවීමට අද පත්වීම් ලැබූ සියලු නිලධාරින් ද කැපවනු ඇති බවට මෙහිදී විශ්වාසය පළ කළ ජනාධිපතිතුමා ඉතා අවම මට්ටමක එනම් 2‍% ක් පමණක් වූ ගම්පහ දිස්ති‍්‍රක්කයේ වන ඝනත්වය ඉහළ නංවා ගැනීමට විශේෂ වැඩපිළිවෙළක අවශ්‍යතාවය ද පැහැදිලි කළේ ය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ යහපාලන රාජ්‍ය සංකල්පය කි‍්‍රයාත්මක කිරීමේ දී යම් තනතුරක් සඳහා පත්වීම් ලබාදෙන විට අපක්ෂපාතීව එම පත්කිරීම් සිදු කිරීමට තමා සියලු ආයතන ප‍්‍රධානීන්ට උපදෙස් ලබාදී තිබෙන බවයි.

30‍% -32‍% අතර පවතින රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය ඉහළ නංවා ගනිමින් රටේ හෙට දවස වෙනුවෙන් වූ අභියෝග ජය ගැනීමට කටයුතු කිරීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා මෙහිදී පැහැදිලි කළේය.

අඩවි වන නිලධාරීන්, බීට්ටු වන නිලධාරීන්, වන ව්‍යාප්ති නිලධාරීන් සහ වන ක්ෂේත‍්‍ර සහකාරවරුන් වශයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් පත්වීම 310 කට වැඩි ප‍්‍රමාණයක් ප‍්‍රදානය කිරීම සංකේතවත් කරමින් කිහිප දෙනෙකු වෙත පත්වීම් ලිපි පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අඩවි වන කාර්යාලවල ඵලදායිතාවය උදෙසා සම්මාන පිළිගැන්වීම ද සිදු කෙරුණේ ජනාධිපතිතුමා අතිනි.

පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ශාන්තා විජයරත්න, වන සංරක්ෂක ජනරාල් අනුර සතුරුසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *