උදු වගා සංවර්ධන කලාපයට බීජ උදු බෙදාහැරීම අද සිට

(කොළඹ, ලංකාපුවත්) – කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් වව්නියාව පන්බෙයිමඩු ප්‍ර දේශයේ ස්ථාපිත කර තිබෙන උඳු වගා සංවර්ධන කළාපයට මෙතෙක් වගා නොකරන ලද පුරන් කුඹුරු අක්කර 16,000ක් යොදා ගැනීමට අවශ්‍ය පියවර ගෙන තිබේ.

මෙම උඳු වගා සංවර්ධන කලාපයේ වගා කිරීමට අවශ්‍ය උඳු බීජ ගොවීන් වෙත ලබා දීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇත.

ඒ සඳහා උඳු බීජ කිලෝ ග්‍රෑම් 1,25,000ක් ලබා දෙන අතර එම උඳු බීජ බෙදා හැරීම අද සිට (15) සිදු කෙරේ.

අපේ රටේ වාර්ෂික සමස්ත උඳු අවශ්‍යතාව මෙ. ටො. 20,000කි. ඉන් 12,000ක් අපේ රටේ වගා කිරීමෙන් ලබා ගන්නා අතර ඉතිරි මෙ. ටො. 8000 වාර්ෂිකව මෙරටට ඉන්දියාවෙන් ආනයනය කරයි. ඒ සඳහා වැය කෙරෙන මුදල රු. මි. 2000කි.

අක්කර 16,000 උඳු වගා කලාපය තුළින් අපේක්ෂිත ඉළක්කය වන්නේ ආනයනය කෙරෙන උඳු මෙ. ටො. 8000 අපේ රටේම වගා කිරීමයි. කෙසේ වුවද දැනට උඳු ආනයනය කිරීමේ දී පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන වසරේ සිට රු. 300 දක්වා වැඩි කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

එමගින් දේශීය ගොවියා දිරිමත් කර ඔවුන්ගේ නිෂ්පාදන සඳහා ඉහළ මිලක් ලබා දීම අරමුණ බව ද අමාත්‍යවරයා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *