කෝටි 02ක බ්‍රවුන් ෂුගර් සමග ඉන්දීය යුවලක් දැලේ

(කොළඹ, ලංකාපුවත්) – රුපියල් දෙකෝටි හතලිස් පන් ලක්ෂයක් වටිනා හෙරොයින් තොගයක් ඉන්දියාවේ සිට නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන පැමිණි ඉන්දීය ජාතික ගුවන් මගීන් යුවළක් අද (15) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් දෙදෙනා අද අලුයම 1.52 ට ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ස්පයිසි ජෙට් ගුවන් සේවයේ එස්. ජී.- 001 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

මොවුන් විසින් රැගෙන ආ ගමන් මල්ලක, ව්‍යාජ පතුලක් සකස් කර, ඒ තුළ කිලෝග්‍රෑම් 02යි ග්‍රෑම් 40 ක් බර මෙම බ්‍රවුන් ෂුගර් වර්ගයේ හෙරොයින් තොගය සගවා තිබූ බව සදහන් වේ.

මෙම දෙදෙනාගෙන් පිරිමි පුද්ගලයා 2017 වසරේ සිට මේ දක්වා 08 වරක් මෙසේ ශ්‍රී ලංකාවට පැමිණ ආපසු ගොස් ඇති බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් සිදු කළ මූලික පරීක්ෂණවලදී අනාවරණය කරගෙන තිබේ.

මොවුන් දෙදෙනා අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර , රඳවා තබාගෙන වැඩිදුර විමර්ශන කටයුතු කිරීම සඳහා අවසර ලබා ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පියවර ගනිමින් සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *