ඉන්ධන මිල සූත්‍රය එළියට

(කොළඹ, ලංකාපුවත්) –රථවාහන ඉන්ධන සඳහා වන මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීමේ දී පදනම් කර ගන්නා සමීකරණය ගැන රටට හඳුන්වාදීමක් මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා මුදල් අමාත්‍යාංශයේ දී ඊයේ (18) සිදු කළේය.

මිල සූත්‍රය ක්‍රියාත්මක කළත් ජාත්‍යන්තර වෙළඳපොළේ මිල අඩු වීමේ වාසිය ජනතාවට ලබා දෙන බවත් මේ මිල සූත්‍රයෙහි උපරිම සිල්ලර මිල ගණනය කරනුයේ ප්‍රධාන කරුණු හතරක් පදනම් කර ගෙන වන අතර එම කරුණු හතර පදනම් කර ගනිමින් ඕනෑම අයකුට සෑම මසකම 10වැනි දා ගණනය කරන මිල සූත්‍රය ගණනය කළ හැකි බවත් ඇමැතිවරයා පැවැසුවේය.

උපරිම සිල්ලර මිල සූත්‍රයට අනුව MRP = Vi + Vii + Viii + Viv සමීකරණය යටතේ ක්‍රියාත්මක කරන අතර Vi වරායේ ගොඩබාන පිරිවැය, Vii සැකසීමේ පිරිවැය, Viii පරිපාලන පිරිවැය, Viv බදු පිරිවැය ලෙස හඳුන්වා දී තිබේ.

මුදල් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගී වෙමින් ඇමැතිවරයා මේ බව ඊයේ (18) ප්‍රකාශ කළේය.

පසුගිය මැයි මස 11වැනි දා සිට බල පැවැත්වෙන පරිදි රථ වාහන ඉන්ධන සඳහා පිරිවැය අනුව මිල තීරණය කිරීමේ මිල සූත්‍රයක් සඳහා කැබිනට් අනුමැතිය ලැබුණු අතර ඒ සඳහා තාක්ෂණික කමිටුවක් එක්ව මිල සූත්‍රය හඳුන්වාදීම සිදු කළ බව ද ඇමැතිවරයා පැවැසුවේය.

ඇමැතිවරයා මෙසේද පැවැසුවේය. Vi – වරායේ ගොඩබාන පිරිවැය කරුණ යටතේ තෙල් බැරලයක් සඳහා වියදම් වන සිංගප්පූරුවේ ප්ලැට්ස් මිල මෙන්ම වාෂ්පවීම සහ රුපියලේ හුවමාරු වටිනාකම් සැලකිල්ලට ගන්නවා. Vii – සැකසීමේ පිරිවැය කියන කරුණ යටතේ දේශීය වරාය ගාස්තු, ප්‍රවාහන නාස්ති, වෙළෙඳ නියෝජිතයාගේ වට්ටම් සහ වාෂ්පවීම මෙන්ම තොග රඳවා ගැනීමේ වියදම් යනාදිය ඇතුළත් වෙනවා. Viii – පරිපාලන පිරිවැය ය‍ට‍තේ සේවක වැටුප් දීමනා වැනි පරිපාලනමය වියදම් ද රුපියලේ අගය අවප්‍රමාණය වීම ද ඇතුළුව අනෙකුත් ආයතනික වියදම් ද හඳුන්වා දී තිබෙනවා. Viv – බදු පිරිවැය කියන කරුණ යටතේ රේගු ආනයන බදු, වරාය සහ ගුවන් තොටුපළ සංවර්ධන බදු, ජාතිය ගොඩනැ‍ඟීමේ බදු යනාදි බදු ගෙවීම් ඇතුළත් වෙනවා. මේ තරම් බදු පෙට්‍රල්වලට අය කරන්නේ ඇයි කියලා ඇතැම් අය හිතනවා. සවුදි අරාබිය වගේ පෙට්‍රල් නිෂ්පාදනය කරන රටවලත් බදු අය කිරීම සිදු කරනවා. මේ බදු අය කිරීමෙන් තමයි ජනතාවට සහන ලබාදෙන්නේ. කලාපයේ රටවල් සමඟ සංසන්දනය කර බලන විට අපේ මිල සූත්‍රය ඉතාම පහළයි. ඉන්දියාවේ පෙට්‍රල් මත බද්ද රුපියල් 82.14, ඩීසල් මත බද්ද රුපියල් 57.52, ලංකාවේ පෙට්‍රල් මත බද්ද රුපියල් 53.68, ඩීසල් මත බද්ද 25.48, එංගලන්තයේ පෙට්‍රල් මත බද්ද රුපියල් 178.70, ඩීසල් මත බද්ද රුපියල් 180.27. මේ සියල්ල එකතු කළාම තමයි මිල සූත්‍රය හැදෙන්නේ. ඒ දේ තමයි හැමෝම ඉල්ලුවේ. මේ මිල සූත්‍ර සමීකරණයට අනුව ඕනෑම අයකු‍ට හැම මාසෙකම 10 වැනිදා වන විට ගණන් හදලා අපට වුණත් කියන්න පුළුවන්. ඊයේ පෙරේදා වන විට ලෝක වෙළඳ පොළේ තෙල් මිල අඩු වෙවී තිබෙනවා. අද වන විට තෙල් බැරලය ‍ඩොලර් පහකින් පමණ අඩු වී තිබෙනවා. ලබන මස 10වැනිදා වන විටත් මේ අඩු වීම පැවැතියොත් ජනතාවට මේ සහනය ලබාදීම අපි සිදු කරනවා. මීට පෙර පැවැති කිසිදු ආණ්ඩුවක් තෙල් මිල අඩු වෙන විට අඩු වීමක් සිදු කළේ නැහැ. නමුත් අපේ රජයෙන් ඒ දේ කරනවා. පිටරටින් ගෙන්වන ඇතැම් භාණ්ඩ තහනම් කරන්න යනවා කියන එක සම්පූර්ණ අසත්‍යයක්. මේ තීන්දුත් තාවකාලික ඒවා. මිල සූත්‍රය ක්‍රියාත්මක වුවත් අපේ ආණ්ඩුව යටතේ ආර්ථික ලිහිල්කරණය කිරීමේ වැඩපිළිවෙළ කිසිසේත්ම ආපස්සට හරවා ගන්නේ නැහැ.

මුදල් හා ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා-

මිල සූත්‍රය අපි ඉදිරිපත් කළේ අපේ ආණ්ඩුවට සැඟවීමට කිසිවක් නොමැති නිසයි. මේ සූත්‍රයට අනුව ජාත්‍යන්තර තෙල් මිල ඉහළ යන විට මිල ඉහළ යනවා. ජාත්‍යන්තරයේ තෙල් මිල පහළ යන විට මිල පහළ යනවා. ඒක තමයි මිල සූත්‍රයේ හොඳ පැත්ත. මිල ඉහළ යන විට ඉහළ යාමක් පමණයි මෙතෙක් වුණේ. සෞඛ්‍යයට, අධ්‍යාපනයට මේ බදුවලින් තමයි සහන ලබාදීම සිදු කරන්නේ. උපරිම සිල්ලර මිලට අනුව ඉන්දියාවේ බදු ප්‍රතිශතය සියයට 33 ක් වෙනවා. එය පකිස්තානයේ සියයට 58 ක් වෙනවා. ලංකාවේ සියයට 19 යි. සිංගප්පූරුවේ විතරයි අපට වඩා අඩු. එය සියයට 12 ක්. මහා බ්‍රිතාන්‍යයේ එය සියයට 60 ක් වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *