සත්විරු අභිමන් රණවිරු සුබසාධන ප‍්‍රතිලාභ ප‍්‍රදානෝත්සවය ජනපති ප‍්‍රධානත්වයෙන්

(කොළඹ, ලංකාපුවත්) –රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ වීරෝධාර රණවිරුවන් වෙනුවෙන් රටේ යුතුකම ඉටුකරමින් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ පූර්ණ ආශිර්වාදය සහ මගපෙන්වීම මත කි‍්‍රයාත්මක කරනු ලැබු රණවිරු සුභසාධන ව්‍යාපෘතිවල ප‍්‍රතිලාභ ප‍්‍රදානය කිරීමේ ,සත්විරු අභිමන් රණවිරු සුබසාධන ප‍්‍රතිලාභ ප‍්‍රදානෝත්සවය, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (18) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රංග ශාලාවේදී පැවැත්විණි.

ත‍්‍රිවිධ හමුදාවේ, පොලිසියේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන් වෙනුවෙන් සම්පූර්ණ නිවාස 100ක් අර්ධ වශයෙන් ඉදිකර ගත් නිවාස සම්පූර්ණ කර දීමේ ප‍්‍රතිලාභ 800 ක්, රණවිරු දරුවන් වෙනුවෙන් විරු සිසු ප‍්‍රදීප ශිෂ්‍යාධාර 279 ක්, පදිංචිය සඳහා ඉඩම් නොමැති රණවිරුවන් සඳහා ඉඩම් කොටස් 84 ක් ප‍්‍රදානය කිරීම මෙහිදී සිදු විය.

මියගිය සහ ආබාධිත වූ රණවිරුවන් වෙනුවෙන් පමණක් පිරිනැමෙන සම්පූර්ණ නිවාස 100 සඳහා ,අපි වෙනුවෙන් අපි, අරමුදලේ මූල්‍ය ප‍්‍රතිපාදන යටතේ රුපියල් කෝටි 15 ක් වැය කර ඇති අතර, යුද හමුදාවේ ශ‍්‍රම දායකත්වය, යන්ත‍්‍ර සූත‍්‍ර ඇතුළු ව්‍යාපෘතියේ සම්පූර්ණ වටිනාකම රුපියල් කෝටි 30කට අධිකය.

සේවයේ නියුතු හා විශ‍්‍රාමික රණවිරුවන් 500 ක් වෙනුවෙන් ඔවුන්ගේ අඩක් නිමි නිවාස සම්පූර්ණ කිරීම සඳහා ,අපි වෙනුවෙන් අපි, අරමුදලේ මූල්‍ය ප‍්‍රතිපාදන මත වැය කර ඇති මුදල රුපියල් කෝටි 35කි. මියගිය රණවිරුවන්ගේ පවුල් හා ආබාධිත රණවිරුවන් 300 කගේ අර්ධ වශයෙන් ඉදිකරගෙන ඇති නිවාස සම්පූර්ණ කිරීම සඳහා ජාතික ආරක්ෂක අරමුදලේ මූල්‍ය ප‍්‍රතිපාදන මත රුපියල් කෝටි 20 ක් වැය කර ඇත.

05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සමත් රණවිරු දරුවන් 279 දෙනෙකුගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා ලබා දෙන ලද ,විරු සිසු ප‍්‍රදීප, ශිෂ්‍යාධාර සඳහා ජාතික ආරක්ෂක අරමුදලේ ප‍්‍රතිපාදන මත වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 69 කට අධිකය. රජයේ ඉඩම් ලබාදීමේ වැඩසටහන යටතේ ගල්නෑව, රස්නායකපුර හා කොටවෙහෙර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින් පදිංචියට ඉඩම් නොමැති රණවිරුවන් වෙනුවෙන් ඉඩම් කොටස් 84ක් ලබා දීම සඳහා වූ හිමිකම්පත් ලබා දීම ද සිදු කෙරිණි.

ප‍්‍රතිලාභ ප‍්‍රදානය සංකේතවත් කරමින් කිහිප දෙනෙකු වෙත ප‍්‍රතිලාභ ප‍්‍රදානය ජනාධිපතිතුමා අතින් සිදු විය.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කපිල වෛද්‍යරත්න යන මහත්වරුන් ද ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා ඇතුළු ති‍්‍රවිධ හමුදාපතිවරුන්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්. පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ප‍්‍රධානින් මීට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *