තෙල් ටැංකි කිහිපයක් ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ගැනීමට ඇමති අර්ජුන උත්සාහයක

(කොළඹ, ලංකාපුවත්) –ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ දැනට භාවිතයට නොගන්නා තෙල් ටැංකි කිසිම අවස්ථාක විකුණා දැමීමක් නොකරන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

ඇමතිවරයා අවධාරණය කරන්නේ ආයෝජකයින් සමඟ එක්ව එම තෙල් ටැංකි සංවර්ධනය කිරීමට පමණක් කටයුතු කරන බවයි. රටට අවාසිදායක ගිවිසුම්වලට එළැඹිම තම ප්‍රතිපත්තිය නොවන බවත් ඔහු අවධාරණය කළේය.

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කාර්යාල ශ්‍රවණාගාරයේ පසුගියදා පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි. ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ගැන විවිධ පාර්ශ්ව එල්ල කරන චෝදනාවලට පිළිතුරු දීම සඳහා එම මාධ්‍ය සාකච්ඡාව කැඳවීය.

එහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ තෙල් ටැංකි සියල්ල 2003 වසරේදී ඉන්දීය ඔයිල් සමාගමට පවරා ඇති බවයි. තමා දැන් උත්සාහ කරන්නේ එයින් කොටසක් හෝ නැවත වරක් ශ්‍රී ලංකාවට ලබා ගැනීමට බවද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

“2003 වසරේදී ඉන්දීය ඔයිල් සමාගමත් එක්ක ශ්‍රී ලංකා රජය ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා තෙල් ටැංකි ටික බදු දෙන්න. ඒකේ තව කොන්දේසියක් තියෙනවා මූල්‍යමය කොන්ත්‍රාත්තුවක් අත්සන් කළ යුතුයි කියලා. ඒක හරියට සිද්ධ වෙලා නැහැ. දැනට නඩුවක් පවතින නිසා මම ඒ ගැන කරුණු කියන්නේ නැහැ. නමුත් මම මේ අමාත්‍යාංශයට එනවිටත් තෙල් ටැංකි තාම පාවිච්චි කරන්නේ ඉන්දියානු ඔයිල් සමාගම. එම සමාගම දැනට තෙල් ටැංකි 15ක් පාවිච්චි කරනවා. අනිත් ටැංකි ටික මේ අවුරුදු 18ම දිරාපත් වෙවී යනවා. මේ කිසිම කෙනෙක් එය සංවර්ධනය කරන්න මොකුත් කරලා තිබුණේ නැහැ. පස්සේ ඒ ගැන අවධානය යොමු කරලා මම තීරණයක් ගත්තා කැබිනට් පත්‍රිකාවක් දාන්න. ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය පිහිටි භූමියේ අයිතිය තියෙන්නේ රජයට. එහි තෙල් ටැංකි 100ක් තියෙනවා. ඒ අනුව කැබිනට් පත්‍රිකාවෙන් අපි පළමුව ඉල්ලා තියෙන්නේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය පිහිටි ඉඩමේ අයිතිවාසිකම රජයටම තියාගෙන අලුත් ගිවිසුමට යන්න. දෙවැන්න දැනට ඉන්දීය ඔයිල් සමාගම පාවිච්චි කරන ටැංකි 15 ඒගොල්ලන්ටම ලබා දෙන්න. ඉතිරි ටැංකි අසූපහ ඉන්දීය ඔයිල් සමාගමත් තෙල් සංස්ථාවත් එක්ව පිහිටුවන පොදු සමාගමකින් සංවර්ධනය කිරීමට තෙවැනුව ඉල්ලා තිබෙනවා. එසේ සංවර්ධන කරන තෙල් ටැංකි 85න් 16ක් තෙල් සංස්ථාවටම පවරා ගැනීමටත් මම ඉදිරිපත් කළ කැබිනට් ප්‍රතිකාවෙන් යෝජනා කර තිබෙනවා. නැව්වලට ඉන්ධන සැපයීමේ ව්‍යාපාරය කිරීමට එයින් අප බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව උතුරු නැගෙනහිර ප්‍රදේශයේ තෙල් බෙදාහැරීමේ වැඩපිළිවෙළක් ඇති කරන්නටත් අපේක්ෂා කරනවා. මොකද අපිට කොළඹ සිට උතුරු නැගෙනහිරට තෙල් ප්‍රවාහනයේදී විශාල මුදලක් වැය වනවා. නමුත් ත්‍රිකුණාමලයේ සිට එම ප්‍රදේශවලට ඉන්ධන බෙදා හැරීමෙන් විශාල මුදලක් ඉතිරි කර ගන්න පුළුවන්. ඒ වගේම පොදු සමාගමට තෙල් ටැංකි ලබා දෙන්නේ කාලසීමාවකට. ඒ කැබිනට් මණ්ඩලට තීරණය කරන කාලයකට. ඒක මම තීරණය කරන කාලයකට නෙමෙයි….”යිද අර්ජුන රණතුංග අමාත්‍යතුමා පැවසීය. ඔහු වැඩිදුරටත් පැවසුවේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීම කඩාකප්පල් කිරීමේ මාෆියාවක්ද ක්‍රියාත්මකව ඇති බවයි.

“පහුගිය දවස්වල මාධ්‍යවලින් මේවා විකුණන්න හදනවා කියලා එක එක පක්ෂවලින් දේශපාලනය කරන අය කතා කළා. නමුත් මේ දේශපාලනය කරන හැම කෙනාම ආණ්ඩුවල හිටපු අය. නමුත් ඒ කාලේ ඒවා වෙනස් කළේ නැහැ. අද ඔය වෘත්තීය සමිති කියන නායකයෙක් කෑ ගහනවා. ඔහු වැරදි නවයකට වරදකරු වෙලා සේවයෙන් අයින් කරලා ඉන්න කෙනෙක්. ඔහු මහින්ද රාජපක්ෂ මහත්තයගේ ආණ්ඩුව කාලේ සෑහෙන කල් වෘත්තීය සමිති නායකයෙක් විදියට කටයුතු කළා. ඒ කාලේ ඔහුට මේවා වෙනස් කරගන්න තිබුණනේ. අද අපි මේ තෙල් ටැංකි සංවර්ධනය කරලා මුදලක් රටට ආයතතනයට ලබා ගන්න හදන කොට කුහකකමින් කෑ ගහනවා. ඊට අමතරව මාධ්‍යයෙන් මම දැක්කා ලොකු තර්ජනයක් කරනවා ඉදිරියේදී දැඩි වර්ජනයකට යනවා කියලා. මම ඒකටත් ලෑස්ති වෙලා ඉන්නේ. මම ඔවුන්ගෙන් ඉල්ලන එකම දේ ඕන වර්ජනයකට ගියාට කමක් නැහැ. නමුත් රටේ මහජනතාවට අපහසුවක් වෙන දෙයක් කළොත් ඒකට මම දැඩි තීරණ ගන්නවා. එය මම මාධ්‍ය හරහා බය නැතුව කියනවා. මේ තෙල් සංස්ථාවෙත් CPSTL ආයතනයෙත් මම ආවට පස්සේ වැටුප් වැඩි කරලා තියෙනවා 30%ට වැඩිය. අද සේවකයෝ දන්නවා අපි කරන්නේ මොකද්ද කියලා. නමුත් කීපදෙනෙක් ඉන්නවා දේශපාලන අරමුණු සමඟ මේවා කඩාකප්පල් කරන. එහි පිටුපස තෙල් ටැංකි සංවර්ධනය කරනවාට කැමති නැති පිරිසකුත් ඉන්නවා. මම පැමිණීමට පෙර යාපනේට ත්‍රිකුණාමලයට වැඩිපුරම තෙල් ප්‍රවාහනය කළේ බවුසර්වලින්. කෝච්චියෙන් ගෙනියන ප්‍රමාණය හරිම අඩුයි. ඇයි එහෙම කළේ. බවුසර්වලින් තෙල් ප්‍රවාහනය ව්‍යාපාරකයින්ට වාසියි. නමුත් අපිට ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංවර්ධනය කරලා එයින් 16ක් අපට ගන්න පුළුවන් වුණොත් එහි වාසිය සංස්ථාවට ලබා ගන්න පුළුවන්. එයින් ව්‍යාපාරිකයින්ට පහර වදින නිසා ව්‍යාපාරිකයින් සමඟ සිටින මේ සංස්ථාවේ අයත් අද තෙල් ටැංකි විකුණනවා කියලා කෑ ගහනවා……”යිද අර්ජුන රණතුංග අමාත්‍යතුමා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *