පාරමී මාරිස්ටෙලාට නව නිවාස දෙකක්

(කොළඹ, ලංකාපුවත්) – ආර්ජන්ටිනාවේ පැවැති තුන්වන යොවුන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ දී ලෝකඩ පදක්කමක් හිමිකරගනිමින් ශී‍්‍ර ලංකාවට මහත් අභිමානයක් ගෙන දුන් පාරමී වසන්ති මාරිස්ටෙලා ක‍්‍රීඩිකාවට නිවාස දෙකක් අලූතින් ඉදිකර දීමට රජය තීරණය කළ බව වාරිමාර්ග, ජලකළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

නිවාස අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළඹි බව අමාත්‍යවරයා කියා සිටියේය.

මෙම පහසුකමට අමතරව ඇය දැනට ජිවත් වන හලාවත, ඉරණවිල පිහිටි නිවස දින 10 ක් ඇතුලත රජයේ වියදමින් අලූත්වැඩියා කර දීමටද රජය තීරණය කර තිබේ. එමෙන්ම අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා කියා සිටියේ ලබන 30 දා කරුවලගස්වැව නිවාස ව්‍යාපෘතිය විවෘත කිරීමේ උත්සවයේදී ඇයට නව නිවසක් බාර දීමට කටයුතු කරව බවයි.

මේ පණිවිඩය රැගෙන රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පසුගිය 20වනදා පෙරවරුවේම ඇය පදිංචි ඉරණවිල නිවසට පැමිණියේය. මේ අවස්ථාවට නිවාස සංවර්ධන අධිකාරියේ පුත්තලම දිස්ත‍්‍රික්කයේ නිලධාරින්ද එක්ව සිටියහ.

ඇය තවත් අභීයෝගයකට මුහුණ දී සිටින බවද මෙහිදී අනාවරණ විය. දෙමාපියන්ගේ ආර්ථික දුෂ්කරතාව ඇගේ ගමනට ඇති බලවත්ම බාධාව බවත්, එයට විසදුමක් ලෙස පාරමී මාරිස්ටෙලා දැරියගේ අධ්‍යෘපන කටයුතු හා කී‍්‍රඩා කටයුතු වෙනුවෙන් පුළුල් දායකත්වයක් ලබා දිය යුතු බවත් අමාත්‍යවරයා පැවසීය.

ඒ සඳහා අගමැතිවරයා හා අධ්‍යාපන අමාත්‍යවරයා සමග සාකච්ඡා කර ස්ථිර විසඳුමක් ලබා දීමට පියවර ගන්නා බවයි අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා කියා සිටියේ. එය අනිවාර්යෙන් ඉටුකරන බවටද අමාත්‍යවරයා පොරොන්දු විය.

එම අවස්ථාවේ අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාට ස්තූතිය පුද කරමින් අදහස් දැක්වූ පාරමී මාරිස්ටෙලා සිසුවිය මෙලෙස අදහස් පල කළාය.

“මට අද හරිම සතුටුයි. මං වෙනුවෙන් රජය ලොකු දායකත්වයක් ලබා දීමට ඉදිරිපත් වීම ගැන. ඒ වගේම මගේ අම්ම තාත්තට මෙන්ම රටටත් මගෙන් තවත් යුතුකම් බලාපොරොත්තු වෙන්න මෙය හේතුවක් වේවි. ඒ වගේම මගේ ඔලිම්පික් සිහිනය සැබෑවක් කර ගන්නත් රටට කීර්තියක් ගෙන දෙන්නත් මේ දායකත්වයන් හේතු වේවි.“

Leave a Reply

Your email address will not be published. Required fields are marked *