ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්ෂේත්‍රයන්ට ඉන්දියාව ලබාදෙන සහාය අගයයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ නිවාස ව්‍යාපෘති, යටිතල පහසුකම් සැපයීම හා වෙනත් සංවර්ධන ක්ෂේත්‍රයන් වෙත ඉන්දියාව ලබාදෙන සහයෝගය දැඩි ලෙස අගය කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ශ්‍රී ලංකා අගමැතිවරයා එසේ පැවසුවේ පසුගිය 20 වැනිදා නවදිල්ලි නගරයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමඟ පැවැති සාකච්ඡාවේදීය.

ඉන්දීය අගමැතිවරයා හෝ ඉන්දීය රජය සමඟ තමා තුළ හෝ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා හෝ ශ්‍රී ලාංකික ජනතාව තුළ කිසිම සැකයක්, ගැටලුවක් නොමැති බව මෙහිදී අවධාරණය කළ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා එවැනි වැරැදි වැටහීමක් ඇතිවීමට කිසියම්ම හෝ හේතුවක් මුල්වී තිබේ නම් ඒ පිළිබඳ සිය කනගාටුව පළකරන බවද පැවසීය.

ඉන්දීය අගමැති ප්‍රධාන ඉන්දීය රජය ශ්‍රී ලංකාව වෙත ලබා දෙන සහයෝගය පිළිබඳ කෘතඥතාව පිරිනමන බවත් ව්‍යාපෘති පමාවීමක් සිදුවී නම් තමා දැඩි සැලකිල්ල යොමු කර එම ව්‍යාපෘති කඩිනම් කිරීමට සුදුසු පියවර ගැනීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා අගමැතිවරයා පවසා සිටියේය.

සුවසැරිය ගිලන්රථ සේවාව ලබාදෙමින් ජීවිත දහස් ගණනක් රැක ගැනීමට ඉන්දීය අගමැතිවරයා දායකත්වය ලබාදීම ගැන සමස්ත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සිය කෘතඥතාව පළකරන බව පැවසීය. අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා පිළිබඳ දැනුම ශ්‍රී ලාංකික ශිෂ්‍ය ප්‍රජාව වෙත ප්‍රදානය කිරීමට සහාය වන ලෙස මෝදි අගමැතිවරයාගෙන් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *